ඔන්න අද අපි කතාකරන්න යන්නෙ ධාරා විද්‍යුතයෙ තියන විභවය ගැන. මේ ලිපිය අපි ධාරා විද්‍යුතය සම්බන්ධව කතාකරන තුන්වෙනි ලිපියනේ. මං හිතනවා ඔයාල කලින් ලිපි දෙකත් කියවල ඇති කියල. එහෙම නැත්තන් පහළ තියන ලින්ක් වලින් ගිහිල්ල ඒ ටික ඉස්සෙල්ල කියවල ඉන්න.
ධාරා විද්‍යුතය i. මෙතනින් බලන්න
ධාරා විද්‍යුතය ii. මෙතනින් බලන්න.
විද්‍යුත් විභවය
හරි , අපි එහෙනම් වැඩේට බහිමු. මොකක්ද මේ විද්‍යුත් විභවය කියන්නෙ. ස්තිථි විද්‍යුතය ඔයාල ඉගෙන ගෙන තියනවනම් ඒකෙදි ස්තිථි විද්‍යුත් විභවය ට අර්ථ දැක්වීමක් තියනවා. (අපි ළඟදීම ස්තිථි විද්‍යුතයත් පටන් ගන්නවා.) ඒක ඉතින් ධාරා විද්‍යුතය ඉගෙන ගද්දි දැනගෙන ඉන්න ඕනෙ නෑ. ඒත් මං නිකන් කියන්නම්.
ස්තිථි විද්‍යුත් විභවය කියන්නෙ අනන්තයේ තියන ( මේ අනන්තය ගැන අපි ස්තිථි විද්‍යුත් ක්ශේත්‍ර වලදි සකච්ඡා කරමු ) කූලෝම් +1 ක ආරෝපණයක් විද්‍යුත් ක්ශේත්‍රයක මොකක් හරි අපි සලකන ලක්ෂ්‍යයකට අරගෙන එද්දි ක්ශේත්‍රයට විරුද්ධව පමණක් කරන කාර්‍යය තමයි, ඒ අපි සලකපු ලක්ෂ්‍යයේ විභවය කියන්නෙ. දැන් මේක අපබ්‍රංස වගේනම් ගනන් ගන්න එපා. මේ අර්ථ දැක්වීම අපි කතාකරනව ස්තිථි විද්‍යුතයෙදි.
හරිද, ඉතින් ඔය විභවයට අපි දැන් කියපු කතාව ධාරා විද්‍යුතයට සම්බන්ධ කරන්නෙ කොහොමද? ධාරා විද්‍යුතයෙදි විභවය අර්ථ දැක්වෙන්නෙ ඔහොම නෙවෙයි. ඕකම තමයි ඒත් කියන්නෙ වෙන විදිහකට.
අපි ධාරා විද්‍යුතයේ කතා කරන්නෙ ඉතින් පරිපථ ගැනනෙ. ඉතින් මේ විභවය කියන්නෙ, පරිපථයේ යම් ලක්ෂ්‍යයක +1C ආරෝපණයක් තියන කොට ඒ ආරෝපණය සතුව තියන විද්‍යුත් ශක්තියට තමයි අපි ඒ ලක්ෂ්‍යයේ විද්‍යුත් විභවය කියන්නෙ.
දැන් අපි පොඩ්ඩක් බලමු මේ විභවය ගැන අපි දැනගෙන ඉන්න ඕනෙ මොනවද කියල.
- සන්නායකයක් ගත්තහම ඒකට ප්‍රතිරෝධයක් නැත්තන් ඒකෙ සෑම තැනකම තියෙන්නෙ එකම විභවයක්. ඒ කිව්වෙ වයර් එකක් ගත්තහම ඒකෙ ප්‍රතිරෝධයක් නෑ කියල සැලකුවොත් ඒ වයර් එකේ සෑම තැනකම තියෙන්නෙ එකම විභවයක්. සන්නායකයට ප්‍රතිරෝධයක් තියනව කියල ගත්තොත් අපිට විභව සමානයි කියල කියන්න බෑ. මොකද වාහක වල ශක්තිය හානි වෙන නිසා (ඇයි, ධාරාවක් ගලාගෙන යනකොට ප්‍රතිරෝධයක් හරහා ක්ෂමතා උත්සර්ජනයක් වෙනවනේ. අපි කලින් ලිපියෙන් ඒ ගැන කතා කළානෙ) විභවය තැනින් තැනට වෙනස් වෙනව.
- දැන් ඔයාලට පැහැදිළියි මේ කරුණ. මොකක්ද අනිවාර්‍යයෙන් ධාරාවක් ගලාගෙන යනවනම් ප්‍රතිරෝධයක් හරහා, දෙපැත්තෙ විභව අසමානයි කියල. විභවයෙ අර්ථ දැක්වීමට අනුව විභවය ශක්තියක්. ඒක හානිවෙන නිසා ප්‍රතිරෝධයක් හරහා ධාරාවක් යන වෙලාවට විභව සමාන නෑ ප්‍රතිරෝධකය දෙපැත්තෙ.
- මේ කරුණත් වැදගත්. මොකක්ද විද්‍යුත් ගාමක බල ප්‍රභවයක් ගත්තහම ඒකෙන් ධාරාවක් ගියත් , නොගියත් දෙපැත්තෙ විභව අසමානයි. ඇයි ඒ... මොකද විද්‍යුත් ගාමක බල ප්‍රභවයක් කරන්නෙ සන්නායකයක් හරහා ධාරාවක් ගමන් කරවන එකනෙ. ඒ හින්දා ඒකට අනිවාර්‍යයෙන්ම දෙපැත්තෙ විභව අන්තරයක් තියෙන්නෙ ඕනෙ.
හරි ඔන්න විභවය ගැන ධාරා විද්‍යුතයෙදි කියන්න තියන මූලික කොටස් ටික අපි සාකච්ඡා කරා. දැන් අපි බලමු මේ සාපේක්ෂ විභවය කියන කතාව.
සාපේක්ෂ විභවය
මේ සාපේක්ෂ විභවය කියන්නෙ ඒකෙ නමින්ම කියවෙන දේ තමයි. ඒ කිව්වෙ අපි මොකක් හරි ලක්ෂ්‍යයකට සාපේක්ෂව විභවය ප්‍රකාශ කරනවනම් අන්න ඒකට කියනව සාපේක්ෂ විභවය කියල. මේ සාපේක්ෂ විභවය නිරූපණය කරන්න ලියන විදිහක් තියනව. මේ විදිහට තමයි සාපේක්ෂ විභවය කියන එක ලියල පෙන්නන්නෙ.
ඕකෙන් කියවෙන්නෙ B ලක්ෂ්‍යයට සාපේක්ෂව A ලක්ෂ්‍යයේ විභවය කියන එක. මේකෙ V අකුරෙන් විභවය කියන එකයි V අකුරට ළඟින් තියන පළවෙනි උපාක්ෂරයෙන් සලකන ලබන ලක්ෂ්‍යයයි, දෙවෙනි උපාක්ෂරයෙන් සාපේක්ෂ ලක්ෂ්‍යයයි තමයි නිරූපණය කරන්නෙ. ( යාන්ත්‍ර විද්‍යාවෙ සාපේක්ෂ ප්‍රවේගය එහෙම ලියද්දිත් උපාක්ෂර යොදාගත්තෙ මේ විදිහටනෙ.) මේකෙ ඉතින් අපි ගන්න විභවයන් අනුව + - අගයන් දෙකම එන්න පුලුවන්. මේ සාපේක්ෂ විභවයේ වාසිය තමයි , අපිට ඒකෙ ලකුණ බලල විභවය වැඩි මොන ලක්ෂ්‍යයේද , විභවය අඩු මොන ලක්ෂ්‍යයේද කියල අඳුරගන්න පුලුවන් එක. අපි O/L කාලෙ කිව්ව විභව අන්‍තරය කියන්නෙ මේ සාපේක්ෂ විභවයේ ලකුණ නොසලකා හිටියහම.
ඊළඟට අපි කතාකරන්න යන්නෙ භූගත කිරීම සම්බන්ධව.
භූගත කිරීම
මේකෙන් එච්චර ලොකු දෙයක් කියන්නෙ නෑ. භූගත කරනව කියල කියන එක සමාන්‍යයෙන් කියන්නෙ පරිපථයක යම් ලක්ෂ්‍යයක් ප්‍රතිරෝධයක් නැති රැහැනක් මගින් පොළොවට සම්බන්ධ කරන එකට. මේකෙදි වෙන දේ තමයි ඒ ලක්ෂ්‍යයේ විභවය 0 වෙන එක. ගොඩක් අය වැරදියට හිතන් ඉන්න දෙයක් තමයි මේ පරිපථයක මොකක් හරි ලක්ෂ්‍යයක් භූගත කරාම ධාරාව පොළොවට යනව කියන එක. එහෙම වෙන්නෙ නෑ හරිද... මේ ගැන අපි ඉස්සරහට ගනන් සාකච්ඡා කරද්දි පැහැදිළි කරගමු. එතනදි වෙන දේ තමයි ඒ ලක්ෂ්‍යයේ විභවය 0 වෙන එක. භූගත කරන එක අපි නිරූපණය කරන්නෙ මේ සංකේතයෙන්.
ධාරාව වගේම වෝල්ටීයතාවයටත් සරල හා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා කියල අවස්ථා දෙකක් කතාකරන්න පුලුවන්. විභව අන්තරයෙ අගයයි , ධ්‍රැවීයතාවයයි කාලයත් එක්ක වෙනස් වෙන්නෙ නැත්තන් ඒක සරල වෝල්ටීයතාවක්. කාලයත් එක්ක ධ්‍රැවීයතාවය වෙනස් වෙනවනම් ඒක ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක්. මේකෙ වෝල්ටීයතාවයේ ඉහළම අගයට කුළු වෝල්ටීයතාවය කියල කියනව.
ඔන්න අපි එහෙනම් ධාරා විද්‍යුතයේ මූලික සංකල්ප යටතේ තියන විභවය සම්බන්ධ සියලු කොටස් සාකච්ඡා කරා. ඊළඟ කොටසින් අපි කතාකරනව විද්‍යුත් ශක්තියයි විද්‍යුත් ක්ෂමතාවයයි ගැන.
මේ සම්බන්ධව ඔයාලට මොකක් හරි ගැටළුවක් තියනවනම් අනිවාර්‍යයෙන්ම පහළින් තියන comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම මේ ගැන ඔයාලගෙ අදහස් හා යෝජනාත් දාන්න. ඒව අපිට ගොඩක් වැදගත්. ඒ වගේම ඔයාලට ඉගෙන ගන්න ඕන physics වල වෙන පාඩම් තියනවනම් ඒවත් comment කරන්න. එතකොට අපි හැකි ඉක්මනින් ඒ පාඩම් ඔයලට අරගෙන එනවා.
එහෙනම් අපි ඊළඟ කොටසින් හමුවෙමු.



No comments:
Post a Comment