Thursday, February 7, 2019

ස්ථිති විද්‍යුතය [1.ලක්ෂීය ආරෝපණ (i)]

ඔන්න, අපි අද පටන් ගන්න යන්නෙ තවත් අලුත් පාඩමක්. ඒ තමයි ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර කියන පාඩම. මේක අපි මූලික වශයෙන් ප්‍රධාන කොටස් 3 ක් යටතේ අධ්‍යයනය කරනව. ඒ තමයි,

1. ලක්ෂ්‍යාකාර ආරෝපණ සම්බන්ධ කරුණු
2. ආරෝපණ ව්‍යාප්ත වීම්
3. ධාරිත්‍රක

මේකෙ පළවෙනි කොටස, ඒ කියන්නෙ ලක්ෂ්‍යාකාර ආරෝපණ ගැන ඉගෙනගනිද්දි අපි සාකච්ඡා කරන දේවල් ටිකක් තියනවා. ඒ තමයි ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය , ආරෝපණ සම්බන්ධ කූලෝම්ගේ නියමය , විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය , ස්ථිති විද්‍යුත් විභවය කියන ටික.
මේ පාඩම ගැන කිව්වොත් අමාරු පාඩමක් නෙවෙයි. ඒත් මේක හරියට නිවැරැදිව අවබෝධ කරගත්තෙ නැත්තන් ටිකක් අමාරුයි. ඒත් දිගටම අපිත් එක්ක හිටියොත් නම් ඔයාලට මේ පාඩම අමාරු වෙන්නෙ නෑ. ඒ නිසා මම ආරාධනා කරනව ඔයාලට දිගටම අපිත් එක්ක ඉඳල Physics කියන විෂය ඔයාගෙ කැමතිම විෂය බවට පත්කරගන්න කියල. ඉතින් වැඩි කතා නැතුව අපි යමු පාඩමට...

මේ ස්ථිති විද්‍යුතයෙදි අපි මොනව ගැනද සාකච්ඡා කරන්නෙ.? මේ පාඩම පුරාවටම අපි කතාකරන්නෙ චලනය නොවන එහෙමත් නැත්තන් ස්ථිතික ආරෝපණ ගැන. ඒකනෙ මේකට ස්ථිති විද්‍යුතය කියන්නෙ😀
අපි මේ පාඩම් සාකච්ඡා කරද්දි අවශ්‍ය කරන හැම දෙයක්ම කියනවා. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ. මුලින්ම බලන්න ඕනෙ මොකක්ද මේ ආරෝපණයක් කියන්නෙ කියල. ඇත්තටම කිව්වොත් ඉතින් අරෝපණය තවත් විස්තර කරන්න බෑ. ඉතින් ආරෝපණයක් ගැන දැනගන්න ඕන මූලික කරුණු දැනටමත් ඔයාල දන්නව. මුලින්ම කියන්න ඕනෙ මේ ආරෝපණ කියන ජාතිය + හා - කියල වර්ග දෙකක් තියනවා. ඒක ඕනම කෙනෙක් දන්නවනේ. ඉතින් ඔය ආරෝපණය කියන එක ඉස්සර කාලෙ වර්ග කරා විවිධ විදිහට(ඒ කාලෙ සිද්ධාන්තමය විදිහට මේ ස්ථිති විද්‍යුතය කියන සංකල්පය දැනගෙන හිටියෙ නෑ).. ඒ කිව්වෙ වීදුරු හා සිල්ක් පිරිමැද්දොත් වීදුරු වලට ලැබෙන්නෙ + ආරෝපණයක් , ඒ වගේම එබනයිට් හා ලොම පිරිමැද්දම එබනයිට් - ආරෝපිත වෙනව කියල වර්ග කරේ. මෙහෙම වර්ග කරේ සම්පූර්ණයෙන්ම මේ ගැන දැනගෙන නෙවෙයි. කොහොමහරි කමක් නෑ. අපිට ඉතිහාසය නම් එච්චර වැදගත් නෑනෙ, පිසික්ස් ඉගෙන ගද්දි.
අපි දැන් බලමු මේ ස්ථිති විද්‍යුතයේ මූලික නියමය කියන්නෙ මොකක්ද කියල. මේකත් කිව්වහම හිනහ යයි. මොකද මේකත් හැමෝම දන්න දෙයක්. මොකක්ද ඒ, සජාතීය ආරෝපණ විකර්ශණය වෙනව, විජාතීය ආරෝපණ ආකර්ශණය වෙනව කියන එක.😂 මේකත් නියමයක්ද නේ?😂
අපි දැන් බලමු අපිට ගනන් හදද්දි වැදගත් වෙන මූලික දෙයක්. මේකත් ඔයාල දන්නව. ඒ තමයි මේ ආරෝපණය උපගුණාකාර ඇසුරින් ලියන්න පුළුවන් එක. ආරෝපණය මනින SI ඒකක තමයි කූලෝමය කියන්නෙ. එතකොට අපිට මේක මිලිකූලෝම්, මයික්‍රොකූලෝම්, නැනෝකූලෝම් වගේ විදිහට උපගුණාකාර දාල ලියන්න පුලුවන්. මං මේ නිකන් කියන්න ඕනෙ නිසා ඒකක ටික සිංහල අකුරෙන් කිව්වෙ, සිංහලෙන් එහෙම ලියන්න එපා, ඒකක හොඳේ😀 (ඔයාලට උපගුණාකාර මතක නැත්තන් අපි ඒකක සම්බන්ධව සාකච්ඡාව මෙතනින් ගිහින් බලන්න.)

ඊළඟට අපිට කතාකරන්න තියෙන්නෙ මේ සන්නායක හා පරිවාරක ගැන. මේ ගැන ධාරා විද්‍යුතයෙදිත් සාකච්ඡා කරනව.

සන්නායක හා පරිවාරක
ඕනම මාධ්‍යයක ඉලෙක්ට්‍රෝන තියනවනේ. ඒත් සන්නායක වල විශේෂත්වෙ තමයි සන්නායක ඉලෙක්ට්‍රෝන තියන එක. සන්නායක ඉලෙක්ට්‍රෝන කිව්වෙ නිදහසේ තියන ඒ කිව්වෙ බන්ධන වලට සහභාගී වෙලා නැති මාධ්‍යය තුළ නිදහසේ තියන ඉලෙක්ට්‍රෝන. එතකොට ඉතින් පරිවාරක කියන්නෙ සන්නායක ඉලෙක්ට්‍රෝන නැති මාධ්‍යය වලටනෙ.

අපිට ඊළඟට කතාකරන්න තියෙන්නෙ අරෝපණය කිරීම සම්බන්ධව. වස්තුවක් ආරෝපණය කරන්න ප්‍රධාන වශයෙන් ක්‍රම 2 ක් තියනව. ( 2 ක් නෙවෙයි , කතාකරන්නෙ 2 ක් ගැන විතරයි.)

  1. ස්පර්ශයෙන් ආරෝපණය කිරීම
  2. ප්‍රේරණයෙන් ආරෝපණය කිරීම
ස්පර්ශයෙන් ආරෝපණය කිරීම ගැන MCQ එහෙමත් ඇවිල්ල තියනව. අපි ඒව ප්‍රශ්න සාකච්ඡා කරද්දි කතාකරමුකෝ.

ස්පර්ශයෙන් ආරෝපණය කරනව කියන එක ගැන අදහසක් ගන්න පුලුවන් පහල රූපෙන්.
ඒකෙ a රූපයෙදි ආරෝපිත දණ්ඩක් ගෙනල්ල අනාරෝපිත වස්තුවක ස්පර්ශ කරාම ඒ වස්තුව ආරෝපණය වෙලා තියන හැටි තමයි b රූපෙ තියෙන්නෙ. දැනට ඔය ටික දැනගත්තහම ඇති. පස්සෙ අපි ප්‍රශ්න කරද්දි තව ගොඩක් දැනුම හම්බෙනව.
ඊලඟ ක්‍රමය තමයි මේ ප්‍රේරණයෙන් ආරෝපණය කරනව කියන එක. පහළ රූපෙ බලන්නකෝ.
මේකෙදි වෙන්නෙ අනාරෝපිත වස්තුවක් ගාවට ආරෝපිත වස්තුවක් ගෙනාවහම ඒ අනාරෝපිත වස්තුවෙ තිබුණ + හා - ආරෝප්ණ වස්තුව දෙපැත්තට වෙලා දෙපැත්තෙ ධ්‍රැව 2 ක් හැදෙනව. දැන් අපි ආරෝපිත දණ්ඩ අයින් කලොත් අපහු තිබ්බ විදිහට ආරෝපණ විසිරිලා උදාසීන වෙනව. එතකොට කොහොමද ආරෝපණය කරගන්නෙ. ඒකට කරන්න තියෙන්නෙ අර ධ්‍රැව 2 හැදුනහම ආරෝපිත දණ්ඩ අයින් කරන්නෙ නැතුව ( අයින් කරොත් වැඩේ දෙල් වෙනව, ඇයි ධ්‍රැව 2 නැතිවෙලා ආයෙ උදාසීන වස්තුව බවට පත් වෙනවනේ) එක පැත්තක් භූගත කරන්න ඕනෙ. එතකොට ඒ පැත්තෙ විභවය 0 වෙලා ආරෝපණ ටික උදාසීන වෙලා යනව. විභවය 0 වෙන කතාව දැන් තේරුන්නැත්තන් කලබල වෙන්න එපා. ඉස්සරහදි අපි විභවය ගැන කතා කරද්දි ඔය ගැන කියල දෙනව. මං නිකන් පොඩ්ඩක් කියන්නම්. භූගත කරනව කියන එකෙන් අපි සෛද්ධාන්තිකව කියන්නෙ ඒ අපි භූගත කරපු ලක්ෂ්‍යයේ විභවය 0 වෙනව කියන එක. දැනට ඔන්න ඔහොම පොඩ්ඩක් තේරුම් ගන්න. පස්සෙ අපි ගොඩක් ගැඹුරට විභවය ගැන කතා කරනව.

දැන් අපි බලමු මේ ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය කියන එක ගැන. මේකෙන් අපිට පුළුවන් මොකක් හරි වස්තුවක තියන ආරෝපණය මොකක්ද ඒක ධන ද ඍණද වගේ දේවල් දැනගන්න.මේ තියෙන්නෙ ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකයක ඇත්ත පින්තූරයක්.
ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය ගැන මේ කරුණු ටික ඔයාල දැනගෙන ඉන්න ඕනෙ. බලන්නකො පොඩ්ඩක්.,

  • උදාසීන ස්වර්ණ පත්‍ර දර්ශකයකට යම් වස්තුවක් ගෙන ආ විට උත්ක්‍රමණයක් ඇති වේ නම් එම වස්තුව ආරෝපිත බව පමණක් හඳුනාගන්න පුලුවන්. ආරෝපණ වර්ගය හඳුනාගන්න බෑ.
  • ආරෝපණ වර්ගය අඳුරගන්න නම් ආරෝපිත ස්වර්ණ පත්‍ර දර්ශකයක් භාවිතා කරන්න ඕනෙ. එතකොට දන්නා ආරෝපණයක් තියන ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකයකට ආරෝපිත වස්තුවක් ගෙනාවම උත්ක්‍රමණය වැඩි වෙනවනම් ගෙනාපු ආරෝපණයයි, ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකයෙයි තිබුණ ආරෝපණ සමානයි.
  • ඒ වගේම ආරෝපිත ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකයකට වස්තුවක් ගෙනාවම උත්ක්‍රමණය අඩු වෙනවනම් ඒ ගෙනාපු වස්තුවේ තියෙන්නෙ ස්වර්ණ පත්‍ර දර්ශකයේ ආරෝපණයට ප්‍රතිවිරුද්ධ ආරෝපණය.
ඔන්න ඔය කරුණු ටික ඔයාල දැනගන්න ඕනෙ ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය සම්බන්ධයෙන්. මේකෙනුත් MCQ ඇවිල්ල තියනව පසුගිය විභාග ප්‍රශ්න පත්තර වල.

හරි, අපි දැන් ලක්ෂ්‍යාකාර ආරෝපණ සම්බන්ධයෙන් ඉගෙන ගන්න කලින් දැනගන්න ඕනෙ මූලික කරුණු ටික සේරම සාකච්ඡා කරා. අපි මේ ගැන වැඩිදුර තොරතුරුත් එක්ක ඊළඟ ලිපියෙන් හමුවෙමු.... ඉතින් අනිවාර්යයෙන් ඔයාලගෙ අදහස් පහළින් comment කරන්න. ඒ වගේම මේ ලිපිය share කරන්නත් අමතක කරන්න එපා.

No comments:

Post a Comment

පදාර්ථ හා විකිරණ [2.ප්‍රකාශ විද්‍යුත් ආචරණය (i) ]

ඔන්න අද අපි කතා කරන්න යන්නේ පදාර්ථ හා විකිරණ පාඩමේ දෙවැනි කොටස. අපි මේ පාඩමේ පලවෙනි කොටස වෙච්ච තාප විකිරණය ගැන කලින් ලිපිවලින් සාකච්ඡා...