Sunday, March 3, 2019

දෛශික (ii) කොටස


ඔන්න අද අපි කතා කරන්න යන්නේ දෛශික වල දෙවෙනි කොටස. මේකෙදි අපිට ඉගෙන ගන්න තියෙන්නේ දෛශික වල සම්ප්‍රයුක්තය හොයන හැටි. ප්‍රධානවම දෛශික තියෙන ආකාර දෙකක් තියෙනවා. එය තමයි සමාන්තර දෛශික සහ ආනත දෛශික කියන්නේ. සමාන්තර දෛශික පද්ධතියක සම්ප්‍රයුක්තය හොයන හැටි නම් සාමාන්‍ය පෙළ කාලෙදිත් අපි ඉගෙන ගන්නවා. ඒකෙදි කරන්නෙ අපි එක පැත්තක් ධන කියලා තෝරාගෙන ඊට විරුද්ධ පැත්තට තියෙන දෛශික සේරම ඍණ කියලා අරගෙන ඒවගේ වීජීය ඓක්‍යය ගන්න එක. (මේකෙදි අනිවාර්යෙන්ම + කියල තෝර ගත්ත දිශාව ගාන හදන තැන ලියලා පෙන්නන්න ඕනේ.) එතකොට සම්ප්‍රයුක්ත අපට ලැබෙනවා. මේක බොහොම සරල දෙයක් නේ. 
ඉතිං අපිට අලුතෙන් ඉගෙන ගන්න තියෙන්නෙ ආනත දෛශික පද්ධතියක සම්ප්‍රයුක්තය හොයන්නේ කොහොමද කියලා.
ආනත දෛශික පද්ධතියක සම්ප්‍රයුක්තය හොයද්දි අපි ප්‍රධානම ක්‍රම තුනක් පාවිච්චි කරනවා.
  1. ත්‍රිකෝණ ප්‍රමේයය
  2. සමාන්තරාස ප්‍රමේයය
  3. බහු අස්‍ර ප්‍රමේයය
ත්‍රිකෝණ ප්‍රමේයය

අපි දැන් කතා කරමු කොහොමද ත්‍රිකෝණ ප්‍රමේයෙන් දෛශික පද්ධතියක සම්ප්‍රයුක්තය හොයන්න කියලා. මේකෙදි අපිට හොයන්න පුළුවන් එකිනෙකට ආනතව තියෙන දෛශික දෙකක සම්ප්‍රයුක්තය විතරයි.
දැන් අපි බලමු මේ ත්‍රිකෝණ ප්‍රමේයය කියන එකෙන් මොකක්ද කියවෙන්නෙ කියල. 
මේකෙන් කියවෙන්නේ දෛශික දෙකක් විශාලත්වයෙන් සහ දිශාවෙන් ත්‍රිකෝණයක පිළිවෙලින් ගත්තු පාද මගින් නිරූපණය කරන්න පුලුවන්නම් ආරම්භක හා අවසාන ලක්ෂ යා කරන ඉතිරි පාදය තියෙනවනේ අන්න ඒ පාදය මගින් අර දෛශික දෙකේ සම්ප්‍රයුක්තය ලැබෙනව කියලා. ඒ වගේම ඒකෙන් අර දෛශික දෙකේ සම්ප්‍රයුක්තයේ දිශාවත් ලැබෙනවා. බලන්නකෝ මේක


එතකොට සම්ප්‍රයුක්ත දිශාව වෙන්නේ පලවෙනි දෛශිකයේ පටන් ගත්ත තැන ඉඳලා දෙවෙනි දෛශිකය අවසාන කරපු තැන දක්වා. ඒ කිව්වෙ උඩ රූපෙ දෛශික දෙකේ සම්ප්‍රයුක්තයේ දිශාව A සිට B දක්වා. සාමාන්‍යයෙන් දෛශිකයක දිශාවක් කියද්දි ඒක තිරස හෝ සිරස සමඟ සාදන කෝණය තමයි කියන්නේ. 
එතකොට දැන් මේ දෛශික ත්‍රිකෝණය නිර්මාණය කරලා අපි කොහොමද ඒකෙන් සම්ප්‍රයුක්තයේ අගය ලබාගන්නෙ. දෛශික ත්‍රිකෝණය සෘජුකෝණී වුනත් කිසිම ප්‍රශ්නයක් නෑනේ. ඇයි එතකොට පයිතකරස් ක්‍රමයෙන් අපිට ලේසියෙන්ම උත්තරේ ගන්න පුළුවන්. ඒ වගේම සම්ප්‍රයුක්තයේ දිශාව අපිට සරල ත්‍රිකෝණමිතියෙන් ගන්න පුළුවන්. O/L කාලෙ ත්‍රිකෝණමිතිය මතකයි නේද? 

Sinx = සම්මුඛ පාදය/කර්ණය
Cosx = බද්ධ පාදය/කර්ණය
Tanx = සම්මුඛ පාදය/බද්ධ පාදය

එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕනේ දෛශික ත්‍රිකෝණය සෘජුකෝණි නෙවෙයි නම් අපිට ඒකෙ සම්ප්‍රයුක්තය හොයන්න මොකක් හරි ක්‍රමයක් ඕනේ.
අපි බලමු කොහොමද ඒක කරන්නෙ කියලා.


මේ සූත්‍රය ගන්නේ උඩ තියෙන ත්‍රිකෝණයට කොස් සූත්‍රය දාලා. bio කරනවා නම් කොස් සූත්‍රය දන්නේ නෑනේ. ඒ හින්ද ඒක ව්‍යුත්පන්න කරන හැටි physics වලට අහන්නෙ නෑ.
එතකොට සම්ප්‍රයුක්තයේ දිශාව
හොයන්න අපිට තවත් සමීකරණයක් ගන්න පුළුවන්.

ගානේ අහනවනම් සම්ප්‍රයුක්තය මොකක්හරි දෛශිකයක් එක්ක හදන කෝණය කියල ඒ දෛශිකය දාන්න ඕනේ ඔය උඩ තියෙන සමීකරණයෙ P විදියට.
තව අපිට වැදගත් දෙයක් තියෙනවා කියන්න. දෛශික දෙකක් ගත්තහම ඒ දෛශික දෙකෙහි අගයන් වෙනස් කරන්නේ නැතුව දෛශික දෙක අතර කෝණය වෙනස් කරලා අපිට පුලුවන් සම්ප්‍රයුක්තයේ විශාලත්වය වෙනස් කරන්න. සම්ප්‍රයුක්තයේ විශාලත්වයේ උපරිම අගය ලැබෙන්නේ දෛශික දෙක අතර කෝණය 0° වෙන වෙලාවට. එතකොට සම්ප්‍රයුක්තය ට අවම අගය ලැබෙන්නේ දෛශික දෙක අතර කෝණය 180° ක් වෙන වෙලාවට. අර සම්ප්‍රයුක්තය හොයන සමීකරණයේ කොස් අගයන් වලට ඔය කෝණ වල අගයන් ආදේශ කරලා බලන්නකෝ මොනවද එන උත්තර කියලා. එතකොට ඔයාලටම තේරෙයි කොහොමද උපරිම සහ අවම අගයන් එන්නේ කියලා.
ඉතින් ත්‍රිකෝණ ප්‍රමේයය ගැන අපිට මීට වඩා ගොඩක් කතා කරන්න දේවල් නෑ. ඊළඟට ඕගොල්ලන්ට ත්‍රිකෝණ ප්‍රමය හොඳටම පුළුවන් කරගන්න කරන්න තියෙන්නේ එකෙන් ගණන් හදන එක. අපි වෙනත් ලිපියකින් මේ පාඩම් වලට අදාළ ගණන් හදන නිසා ඔයාලට ගොඩක් හොඳට මේ පාඩම් අවබෝධ කරගන්න පුළුවන්.
දැන් අපි බලමු දෛශික දෙකක සම්ප්‍රයුක්තය හොයන්න පාවිච්චි කරන සමාන්තරාස්‍ර ප්‍රමේය ගැන.

සමාන්තරාස්‍ර ප්‍රමේයය

අපි ත්‍රිකෝණයක දෛශික 2 නිරූපණය කළේ පිළිවෙලින් ගත් පාද දෙකකින් නේ. ඒ උනාට සමාන්තරාස්‍ර ප්‍රමේයෙදි දි අපි අපිට සම්ප්‍රයුක්තය හොයන්න ඕන දෛශික 2 නිරූපණය කරන්නේ සමාන්තරාස්‍රයක බද්ධ පාද යුගලයක් මගින්. එතකොට ඒ දෛශික දෙකේ ඡේදන ලක්ෂය හරහා යන විකර්ණය මඟින් අර දෛශික දෙකේ සම්ප්‍රයුක්තය අපට ලැබෙනවා. බලන්නකෝ මේ රූප සටහන.

අපිට ඕන නම් මේ සමාන්තරාස්‍ර ප්‍රමේය හරියි කියලා ත්‍රිකෝණ ප්‍රමේයය පාවිච්චි කරලා පෙන්නන්න පුළුවන්.
ඒක ඔයාලටත් තේරෙනවා ඇති. ඇයි සමාන්තරාස්‍රයේ සම්මුඛ පාද සමානයිනෙ. එතකොට AD පාදය සමාන වෙනව BC පාදයට. එතකොට ත්‍රිකෝණ ප්‍රමේයමයි නේද ඇවිල්ල තියෙන්නේ. (තේරුනේ නැති තැන් තියනවනම් කියන්න හරියට පැහැදිලි කරලා දෙන්නම් ආයෙමත්. කියන්න කිව්වෙ comment කරන්න)
එතකොට ඔයාලට හිතෙනවා ඇති මොකටද මේ සමාන්තරාස්‍ර ප්‍රමේයෙ කියලා එකක් හදලා තියෙන්නේ , ඒකෙන් කියවෙන්නේත් ත්‍රිකෝණ ප්‍රමේයය මයි නේද කියලා. ඔව් හැබැයි සමාන්තරාස්‍ර ප්‍රමේයයෙන් ත්‍රිකෝණ ප්‍රමේයයෙන් ගන්න බැරි දේකුත් ගන්න පුලුවන්.
ඒක ලැබෙන්නේ ඉතිරි විකරණය මඟින්. ඒ කිව්වේ දෛශික දෙකක සම්ප්‍රයුක්තය ලැබෙන්නේ දෛශික දෙකේ ඡේදන ලක්ෂය හරහා යන විකරණය මඟින් නෙ, එතකොට ඉතිරි විකර්ණය මගින් ලැබෙන්නේ අර දෛශික දෙකේ අන්තරය. දැන් ඔයාලට හිතෙනවා ඇති සම්ප්‍රයුක්තය න් ගැන කතා කරද්දි මොකටද මේ දෛශික වල අන්තරයක් කියල. මේක නම් ඔයාලට හොදටම පැහැදිලි වෙන ගණන් හදද්දි තමයි. හිතන්නකො ඔයාලට ප්‍රවේග වෙනසක් වගේ දෙයක් ගන්න ඕනි කියලා. ඔයාලා දන්නවා ප්‍රවේගය කියන්නේ දෛශිකයක්. අන්න ඒ වෙලාවට තමයි ඔන්න ඔය මං දැන් කිව්ව දෛශික වල අන්තරය කියන එක පාවිච්චි කරන්නෙ. මං හිතනවා ඔයාලට දැන් යම්කිසි දැනුමක් ලැබුණා කියලා මේ සම්බන්ධව. ඒ උනාට මේ ලැබුණු දැනුම සම්පූර්ණ වෙන්නෙ නෑ අපි ගණන් හදනකන්.

ඉතින් සමාන්තරාස්‍රයෙනුත් සම්ප්‍රයුක්තය හොයද්දි අපි පාවිච්චි කරන්නෙත් අර cos සූත්‍රය පාවිච්චි කරලා ව්‍යුත්පන්න කර ගත්ත සුත්‍රය.
සමාන්තරාස්‍රයේ ගත්තහම දෛශික දෙක අතර කෝණය කියන එක හොයාගන්න පුළුවන්නෙ ඕගොල්ලන්ට. දෛශික 2 අතර කෝණය ගන්නේ කොහොමද කියලා අපි කලින් ලිපියෙන් කථාකරා. මතක නැත්තනම් මම ආයේ කියන්නම්. දෛශික දෙක අතර කෝණය කියන්නේ දෛශික දෙකේ ඡේදන ලක්ෂයේ ඉදලා බලද්දී දෛශික දෙකේ අභි දිශා දෙකම ඡේදන ලක්ෂයේ සිට ඉවතට හෝ අභි දිශා දෙක ම ඡේදන ලක්ෂ තුළට පවතින විදිහට තියෙන කෝණය තමයි දෛශික දෙකක් අතර කෝණය කියලා කියන්නේ. ඔය කියපු එක ඔයාලට මේ රූප බැලුවහම හොදටම පැහැදිලි වෙයි.
ඕකෙ ඔය 60° තමයි දෛශික දෙක අතර කෝණය වෙන්නෙ. අපි ගණන් හදද්දි බලමු කොහොමද මේක යොදා ගන්නේ කියලා. මේ වෙලාවේ අපේ එකම අරමුණ මේ පාඩම පිළිබඳ පැහැදිලි නිරවුල් අවබෝධයක් ලබාගන්න එක. ඒ උනාට මම හැමතිස්සෙම කියනවා වගේ මේ වැඩේ සම්පූර්ණ වෙන්නේ අපි ගණනුත් හැදුවට පස්සේ.
අපි කලින් කිව්වා දෛශික දෙකේ ඡේදන ලක්ෂ්‍යය හරහා යන්නෙ නැති විකර්ණය මගින් පෙන්නන්නෙ දෛශික දෙක අතර අඩු කිරීමේ ලකුණ දාලා ගන්න සම්ප්‍රයුක්තය කියලා. මේක අපිට ත්‍රිකෝණ ප්‍රමේයය පාවිච්චි කරලා පෙන්නන්න පුළුවන්.
අපි පලවෙනි ලිපියෙදි කිවුවනෙ දෛශිකයක ගණිතමය නිරූපණයෙදි අකුරු මාරු කරන්න ඒ දෛශිකයේ (-) ලකුණකින් වැඩි කරන කතාවක්. අන්න ඒකත් මෙතන දී පාවිච්චියට ගන්නවා. අපි බලමු කොහොමද මේක පෙන්නන්නෙ කියලා.
දෛශික 2ක අගයන් සමාන විට ඓක්‍යය සම්ප්‍රයුක්තය හා අන්තර සම්ප්‍රයුක්තය ලබාගැනීම 

දෛශික දෙකෙහි අගයන් සමාන නම් ඓක්‍යය සම්ප්‍රයුක්තය හා අන්තර සම්ප්‍රයුක්තය ගන්න අපිට ප්‍රකාශන 2 ක් ලබාගන්න පුළුවන්.
අපි දැන් බලමු කොහොමද ඒව ගන්නෙ කියලා.

තේරෙනවා නේද ඒක කොහොමද අරගෙන තියෙන්නේ කියලා. ඕක තේරෙන්නෑ කියන්නේ O/L ගණන් බෑ කියන එක. කමක් නෑ ඉතින්😂 තේරුනේ නැත්තං කියන්නේ මං ආයේ පැහැදිලි කරල දෙන්නම් වැඩිදුරටත්.

අපි දැන් මේ වෙනකන් කතා කලේ ත්‍රිකෝණ ප්‍රමේයයි සමාන්තරාස්‍ර ප්‍රමේයයිනෙ. ඒ වුනාට ඒ දෙකෙන්ම අපිට හොයන්න පුළුවන් වුණේ දෛශික දෙකක සම්ප්‍රයුක්තය විතරයි. එතකොට දෛශික වැඩි ගානක් තියෙන්නේ කොහොමද අපි ඒ වගෙ සම්ප්‍රයුක්තය හොයන්නෙ. ඒකට තියන ක්‍රමය තමයි බහුඅස්‍ර ප්‍රමේය. දැන් අපි කතා කරමු එහෙනම් බහුඅස්‍ර ප්‍රමේය ගැන.

බහුඅස්‍ර ප්‍රමේයය


දැන් අපි කිව්වා දෛශික දෙකකට වැඩි ගානක සම්ප්‍රයුක්ත හොයද්දි තමයි මේක පාවිච්චි කරන්නෙ කියලා. මේකත් ත්‍රිකෝණ ප්‍රමේයය වගේම තමයි වෙනසකට තියෙන්නේ මේකෙ පාද ගණනට ඕන තරම් ගානක් ගන්න පුළුවන්. ඒ කිව්වේ දෛශික ඕන තරම් ගානක සම්ප්‍රයුක්තය අපිට මේ ක්‍රමයෙන් හොයන්න පුළුවන්. අපි බලමු එහෙනම් බහුඅස්‍ර ප්‍රමේයයෙන් කියවෙන්නේ මොකක්ද කියල.

දෛශික පද්ධතියක් විශාලත්වයෙන් හා දිශාවෙන් බහු අස්‍රයක පිළිවෙලින් ගත්තු පාද මඟින් නිරූපණය කරන්න පුලුවන්නම් ආරම්භක හා අවසාන ලක්ෂයක් යා කරන ඉතිරි පාදය මගින් ඒ දෛශික පද්ධතියේ සම්ප්‍රයුක්තය විශාලත්වයෙන් හා දිශාවෙන් ලබාදෙනවා. ඔන්න ඕකට තමයි බහුඅස්‍ර ප්‍රමේයය කියන්නේ. මේ බලන්නකෝ.

ඔය රූප දැක්කහම කියපු දේ තේරෙනවා නේද?

ඊළඟට අපි ඉගන ගන්න ඕන බහුඅස්‍ර ප්‍රමේයයෙන් සම්ප්‍රයුක්තය හොයන හැටි. ඒක ඕගොල්ලන්ට ඊළඟ ලිපියෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊලඟ ලිපියෙන් දෛශික විභේදනය සම්බන්ධවත් ඉගෙනගන්න පුළුවන්.
ඔයාලට මේ පාඩම සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවනම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් හා යෝජනා අපිට ගොඩක් වටිනව. ඒ නිසා ඒවත් පහලින් comment කරන්න. ඒ වගේම දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ facebook page එකට like කරන්න. ඒ වගේම මේ පාඩම් ඔයාලගේ යාලුවන්ටත් දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා.

No comments:

Post a Comment

පදාර්ථ හා විකිරණ [2.ප්‍රකාශ විද්‍යුත් ආචරණය (i) ]

ඔන්න අද අපි කතා කරන්න යන්නේ පදාර්ථ හා විකිරණ පාඩමේ දෙවැනි කොටස. අපි මේ පාඩමේ පලවෙනි කොටස වෙච්ච තාප විකිරණය ගැන කලින් ලිපිවලින් සාකච්ඡා...