Sunday, February 3, 2019

ඒකක හා මාන (1. ඒකක)

                   
අද අපි අලුත් වැඩක් පටන් ගන්න තමයි යන්නෙ. ඒ තමයි උසස් පෙළ භෞතික විද්‍යාව මුල ඉඳන් ඉගෙන ගන්න එක. ගොඩක් දෙනා කියන දෙයක් තමයි මේ භෞතික විද්‍යාව කියන්නෙ හරි අමාරු විෂයක් කියන එක. ඒක එහෙම නෑ. ඔයාල ඒ විෂයට ආසාවෙන් ඉගෙන ගත්තොත් හරිම පහසු විෂයක් තමයි මේ භෞතික විද්‍යාව කියන්නෙ. 
                    අද අපි කතාකරන්න යන්නෙ පළවෙනි පාඩම වෙන ඒකක හා මාන කියන පාඩම.
භෞතික විද්‍යාව ගැන කතා කළොත් ඒක විවිධ වස්තු වල චලිතය, ඒවා සෑදී ඇති පදාර්ථ වල ස්වභාවය, ශක්තිය, විද්‍යුතය වගේ දේවල් ගැන තමයි මූලික වශයෙන් අපි මේ විෂයෙන් සාකච්ඡා කරන්නෙ.
මුලින්ම අපි බලමු මොනවද මේ භෞතික රාශි කියන්නෙ කියල.
අපිට යම් කිසි අයුරකින් නිශ්චිතව ප්‍රමාණයක් සඳහන් කරන්න පුලුවන්  දේවල් මූලිකවම භෞතික රාශි කියල හඳුන්වන්න පුලුවන්. මේ භෞතික රාශි අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්. ඒ තමයි,

1) මූලික භෞතික රාශි
2) ව්‍යුත්පන්න භෞතික රාශි

මේ මූලික භෞතික රාශි කියන ඒව 7 ක් සම්මත වෙලා තියනව. ඒ කියන්නෙ මේව මුලු ලෝකයේම සම්මතයක්. කොහෙ ගිහින් මූලික භෞතික රාශි ගැන කිව්වත් මේ 7 තමයි තියෙන්නෙ. ඒව තමයි,

1.දිග
2.ස්කන්ධය
3.කාලය
4.තාපගතික උෂ්ණත්වය
5.විද්‍යුත් ධාරාව 
6.පදාර්ථ ප්‍රමාණය 
7.දීප්ත තීව්‍රතාවය

ඔය මූලික භෞතික රාශි 7 ඔයාල සාමාන්‍යයෙන් පොඩ්ඩක් මතකයේ තියාගන්න. ෆිසික්ස් ඉගෙන ගනිද්දි ඔය ටික දන්නැත්තන් වැඩක් නෑනෙ.
හරි එතකොට අපි කිව්ව මූලික භෞතික රාශි වලට අමතරව තවත් භෞතික රාශි වගයක් තියනව කියල. ඒ තමයි ව්‍යුත්පන්න භෞතික රාශි. දැන් අපි මූලික භෞතික රාශි කියන්නෙ මොනවද කියල ඉගෙන ගත්තනෙ.
එතකොට මේ ව්‍යුත්පන්න භෞතික රාශි කියන ඒවා අපිට හඳුන්වන්න පුළුවන්, මූලික භෞතික රාශි නොවන ඕනෑම භෞතික රාශියක් කියල. මේ ව්‍යුත්පන්න භෞතික රාශි වල විශේෂත්වෙ තමයි ඒව මූලික භෞතික රාශි වල සංයෝජනයක් විදිහට ඉදිරිපත් කරන්න පුලුවන් එක.
මේ භෞතික රාශි ගත්තහම තියන විශේෂ කරුණු වගයක් තියනව.
ඒ තමයි වෙනස් භෞතික රාශි දෙකක් ගුණ කිරීම හෝ බෙදීම කරන්න පුලුවන් උනත් වෙනත් භෞතික රාශි දෙකක් එකතු කිරීම හෝ අඩු කිරීම කරන්න බෑ.

උදාහරණයක් කිව්වොත්,

බලය කියන භෞතික රාශිය වර්ගඵලයෙන් බෙදුවොත් අපිට ලැබෙනවා පීඩනය කියන භෞතික රාශිය. නමුත් බලය පීඩනයට එකතු කරනව කියන එකේ කිසිම අර්ථයක් නෑ කියල ඕනම කෙනෙකුට තේරෙනවා.
අපි දැන් භෞතික රාශි කියන්නෙ මොනවද කියල දැනගත්තනෙ.

ඔය ටික විතරයි ඔයාල උසස් පෙළ භෞතික විද්‍යාව ඉගන ගනිද්දි දැනගෙන ඉන්න ඕනෙ.

ඉතින් අපි දැන් කතාකරමු ඒකක ගැන.
ඒකකය කියන එක ගැන ඔයාලට දැනටමත් අදහසක් ඇතිනේ. ඒකකයක් කියන එක සරලව කිව්වොත් භෞතික රාශියක ප්‍රමාණය ප්‍රකාශ කිරීමට යොදාගන්න පොදු පිළිගැනීමක් තියන සම්මතයක් තමයි මේ ඒකක කියන්නෙ. අතීතයේ ඉඳන් විවිධ කාල වකවානු වල විවිධ ඒකක පද්ධති භාවිතා වෙලා තියනවා. උදාහරණ කිහිපයක් ගත්තොත් බ්‍රිතාන්‍ය ඒකක පද්ධතිය , CGS ඒකක පද්ධතිය , SI ඒකක පද්ධතිය. 
ඔය SI ඒකක පද්ධතිය කියන එක තමයි දැනට ලෝකයේ සම්මතයක් ලෙස බහුලව භාවිතා වෙන්නෙ. මං කලින් කිව්ව ඒකක පද්ධති ගැන දැනුමක් නම් ඔයාල ෆිසික්ස් ඉගෙන ගද්දි ඕන වෙන්නෙ නෑ. නිකන් දැනගන්න කිව්වෙ.  SI ඒකක පද්ධතිය ගැනත් මොකුත් දැනගන්න නම් ඕනෙ නෑ. ඒත් ඒක තමයි අපි පාවිච්චි කරන්නෙ. අපි දැන් කතාකරමු  SI ඒකක ගැන.
මේ ඒකක පද්ධතිය හඳුන්වා දෙන්න සිද්ධ වුනේ, ජාත්‍යාන්තර වෙළඳාමෙදි වගේ දේවල් වලදි මේ ඒකක සම්බන්ධයෙන් ගැටළු ඇති වුන නිසයි. SI කියන අකුරු දෙකෙන් කියවෙන්නෙ System International කියන එක. මේ ඒකක පද්ධතියෙදි ඒකක ආකාර තුනකට බෙදල තියනව.

1.මූලික ඒකක
2.ව්‍යුත්පන්න ඒකක
3.පරිපූරක ඒකක

මේ මූලික ඒකක කියන්නෙ අර අපි කලින් කතාකරපු මූලික භෞතික රාශි 7 ට ලබාදීල තියන ඒකක. අපි බලමු ඒ මොනවද කියල


  1. දිග - meter  -  m
  2. ස්කන්ධය - kilogram  -  kg
  3. කාලය - second  -  s
  4. තාපගතික උෂ්ණත්වය - kelvin  -  K
  5. විද්‍යුත් ධරාව - ampher  -  A
  6. ද්‍රව්‍ය ප්‍රමාණය - mol  -  mol
  7. දීප්ත තීව්‍රතාවය - candela  -  cd

මේ SI ඒකක ලියද්දි එහම සලකල බලන්න ඕන කරුණු කිහිපයක් තියනව. මේවට ඕනෙනම් නීති කියලත් කියන්න පුලුවන්.

  • ඒකකයේ නම ඔයාල සම්පූර්ණයෙන්ම ලියනවනම් ඒක සිම්පල් ඉංග්‍රීසි අකුරෙන් ලියන්න ඕනෙ. මුල අකුරවත් කැපිටල් කරන්න බෑ.
  • ඒකකයේ සංකේතය ලියනවනම් හැමතිසෙම ඉංග්‍රීසි අක්ෂර යොදාගන්න ඕනෙ.
  • ඒකකයේ සංකේතය විදිහට පුද්ගලයක්ගේ නමක් තියනවනම් මුල අකුර විතරක් කැපිටල් ලියන්න ඕනෙ. ඉතිරි අකුරු සේරම සිම්පල් වෙන්න ඕනෙ.
  • සංකේතයේ අක්ෂර කීපයක් තියනවනම් ඒව ලියන්න ඕනෙ වචනයක් ලියනව වගේ. ඒ කියන්නෙ අකුරු අතර ඉඩ තියන්න බෑ.
හරි, දැන් අපි කතාකරන්න යන්නෙ ව්‍යුත්පන්න SI ඒකක ගැන.
අපි කලින් කතා කළානෙ ව්‍යුත්පන්න භෞතික රාශි ගැන. අන්න ඒ ව්‍යුත්පන්න භෞතික රාශි වලට ලැබෙන ඒකක වලට තමයි ව්‍යුත්පන්න SI ඒකක කියල කියන්නෙ.
උදාහරණයක් විදිහට, බලය ලැබෙන්නෙ ස්කන්ධයේත් ත්වරණයේත් ගුණිතයෙන්නෙ. එතකොට බලන්න බලයේ ඒකක ලැබෙන හැටි.
මේ ව්‍යුත්පන්න ඒකක ගැන කියන්න තියන තවත් දෙයක් තමයි, සමීකරණයක් ගත්තොත් ඒ සමීකරණයේ දෙපැත්තෙ ඒකක සමාන වෙන්න ඕනෙ. ඒක ඉතින් ඕනම කෙනෙක්ට තේරෙනවනේ.
ඊළඟට , මොකක් හරි සමීකරණයක වීජීය ඓක්‍යය ලබාගත්ත පද තියනවනම් ඒවගෙ ඒකක සමාන වෙන්න ඕනෙ. මේ උදාහරණය බලන්නකෝ.
ඉතින් මේ ගැන දැන් ඔයාලට හොඳ අවබෝධයක් තියනවා.
මේ ව්‍යුත්පන්න ඒකක ලියද්දි සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියනවා. ඒ තමයි මූලික ඒකක දෙකක් ලියද්දි ඒ අතර අකුරක පරතරයක් තියන්න ඕනෙ. හැබැයි උපසර්ගයක් ලියද්දි පරතරය තියන්නෙ නෑ. අපි බලයේ ඒකක ගත්ත විදිහ උඩ තියනවනේ. ඒක පොඩ්ඩක් බලන්න. එතකොට මේ කියන දේ හොඳට තේරෙයි. ඒකෙ ග්‍රෑම් සහ කිලෝ කියන උපසර්ගය අතර පරතරයක් තියල නෑ. ඒත් ග්‍රෑම් , මීටර , තත්පර කියන මූලික ඒකක අතර පරතරයක් තියල තියනව. ඔන්න ඔය කරුණ පොඩ්ඩක් මතක තියාගන්න ඒකක සම්බන්ධයෙන්.
මීට අමතරව ව්‍යුත්පන්න ඒකක වලට විශේෂ නම් දීපු අවස්ථාත් තියනව. උදාහරණ් ටිකක් කිව්වොත් නිව්ටන්, පැස්කල්, ජූල්, වොට් වගේ ඒව. ඕව ඕන තරම් ඉස්සරහට මේ විෂය ඉගෙනගනිද්දි හම්බෙනව. ඒ නිසා ඉතින් ලොකු දැනුමක් දැනට අවශ්‍ය නෑ.

ඊළඟට අපිට කතාකරන්න තියෙන්නෙ පරිපූරක SI ඒකක ගැන. මේ පරිපූරක ඒකක කියන ඒව මූලික ඒකක සංයෝජනයක් විදිහට ලියන්න බෑ. සරලවම කිව්වොත් මේ පරිපූරක ඒකක කියල දාන්නෙ ඒකක නැති භෞතික රාශි වලට. අපේ විෂය නිර්දේශයේ පරිපූරක ඒකක දෙකක් ගැන තියනවා.
  1. රේඩියන (rad)
  2. ස්ටරේඩියන (sr)
ඔයාල උසස් පෙළට සංයුක්ත ගණිතය නම් හදාරන්නෙ ඔය රේඩියන එහෙම නිතරම හම්බෙනව. ඒවයින් වැඩක් නෑ. බයෝ කරන අයත් ඉන්න නිසා අපි බලමු රේඩියන ගැන පොඩ්ඩක්. ස්ටරේඩියන ගැන නම් සිලබස් එකේ නෑ. ඒක යොදාගන්නෙ ඝන කෝණ මිනුම් කරන්න.
වෘත්තයක පරිධිය මත තියන අරයට සමාන දිගක් තියන චාපයක් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය රේඩියන 1 ක් කියල තමයි රේඩියනය අර්ථ දැක්වෙන්නෙ. ඒ වගේම මේ චාපදිග අරය කෝණය අතර සම්බන්ධයකුත් අපිට ගන්න පුලුවන්.

ඔය එන කෝණයේ අගය ලැබෙන්නෙ රේඩියන වලින් කියල මතක තියාගන්න. අංශක කියල වරද්දගන්න එපා.

තවත් ඔයාල දැනගන්න ඕන දෙයක් තමයි මේ රේඩියන සහ අංශක අතර සම්බන්ධය. මේ තියෙන්නෙ රේඩියන හා අංශක අතර සම්බන්ධය.
අපි මාන වලට යන්න කලින් දැනගන්න ඕන අන්තිම කොටස තමයි මේ ගුණාකාර හා උපගුණාකාර. මේ ටිකනම් මතකයෙ තියාගන්න එක අත්‍යාවශ්‍යයි. හැබැයි ඉතින් ගනන් හදද්දි නිකම්ම මත්කත් හිටිනව. මේ තියෙන්නෙ ඒව.


අන්තිමට තවත් පුංචි දෙයක් කියන්න තියනව. ඒ තමයි මේ ඒකක නැති භෞතික රාශි. මේව ඉතින් ඉස්සරහට කොහොමත් හම්බෙනව. ඒත් ඉතින් පලවෙනි පාඩමේදී පොඩ්ඩක් දැනගන්න එක හොඳයිනෙ. ඝර්ෂණ සංගුණකය , සාපේක්ෂ ඝනත්වය , වර්තන අංකය ඒවට උදාහරණ ටිකක්. හැබැයි ඔන්න මතක තියාගන්න සාපේක්ෂ කියල තිබ්බ පලියට ඒකක නැතිවෙන්නෙ නෑ. ඇයි සාපේක්ෂ ප්‍රවේගය. ඒකට ඒකක තියනවා. ඒකක නැති වෙන්නෙ සමාන රාශි දෙකක් එකිනෙකින් බෙදුවොත් තමයි. 

ඔන්න අපි පළවෙනි පාඩමේ භාගයක්ම ඉවර කරා. මේකෙ මේ කොටසෙ ඉතින් ගනන් කියල හදන්න දෙයක් නෑ. හදනවනම් හදන්න තියෙන්නෙ ඒකක පද්ධති පරිවර්තනය කරන එක තමයි. ඒක කොහොමත් ඉස්සරහට ගනන් හදද්දි ඉගෙන ගන්න හම්බෙනව. කාටහරි ඒක ගැන දැන්ම දැනගන්න ඕන නම් පහලින් comment එකක් දාන්න. අපි ඊළඟ ලිපියෙන් කතාකරන්නේ මේ පාඩමේ දෙවන කොටස වෙන මාන ගැන. අපි එහෙනම් මේ වගේම ඊළඟ ලිපියෙන් හම්බවෙමු.

No comments:

Post a Comment

පදාර්ථ හා විකිරණ [2.ප්‍රකාශ විද්‍යුත් ආචරණය (i) ]

ඔන්න අද අපි කතා කරන්න යන්නේ පදාර්ථ හා විකිරණ පාඩමේ දෙවැනි කොටස. අපි මේ පාඩමේ පලවෙනි කොටස වෙච්ච තාප විකිරණය ගැන කලින් ලිපිවලින් සාකච්ඡා...