Friday, February 22, 2019

ඒකක හා මාන [2. මාන (i) ]


ඒකක සහ මාන පාඩමේ අපි කලින් සවිස්තරාත්මකව සාකච්ඡා කරා ඒකක සම්බන්ධව. කවුරුහරි ඒ ලිපිය කියෙව්වෙ නැත්තන් මෙතනින් ගිහිල්ල ඒක කියවන්න.

අපි අද කතාකරන්න යන්නෙ මේ ඒකක හා මාන පාඩමේ දෙවෙනි කොටස ගැන. ඒ තමයි මාන කියන කොටස.
ඔයාල මේ ගැන කලින් ඉගෙනගෙන නැත්තන් පොඩ්ඩක්වත් බයවෙන්න එපා. අපිත් එක්ක එකතුවෙලා ඔයාලට මේ කොටස හරියටම ඉගෙන ගන්න පුලුවන් වෙනව.

මුලින්ම බලන්න ඕනෙ, මොකක්ද මේ මාන කියන්නෙ කියල. ( O/L කාලෙදි මේ ගැන මොකුත්ම ඉගෙන ගන්නෙ නැති නිසා ඔයාලට මුලින්ම මේ මාන කියන්නෙ මොනවද කියල අදහසක් නැතුව ඇතිනේ.) මාන කියන්නෙ අපිම හදාගත්ත දෙයක් තමයි. මේ විදිහට මාන කියල දෙයක් හදාගත්තෙ මොකටද? ප්‍රධානම දේ තමයි, භෞතික රාශි සම්බන්ධ වැඩ වලදී ඒක පහසු කරගන්න තමයි මේ මාන කියල දෙයක් හඳුන්වල දීල තියෙන්නෙ. ඒ කිව්වෙ මේකෙදි භෞතික රාශි වලට ආවේණික වෙච්ච විවිධ සංකේත තියනව. ඒවට තමයි අපි මාන කියන්නෙ. භෞතික රාශි සංයෝජනය වෙන හැටි අපිට මේ සංකේත වලින් ඉදිරිපත් කරන්න පුලුවන්. ඒකක වගේම මානත් අපි මූලිකවම ප්‍රධාන කොටස් 2 කට බෙදනව.

1. මූලික මාන
2. ව්‍යුත්පන්න මාන

1.මූලික මාන

මූලික භෞතික රාශි 7 ක් තියනව කියල ඔයාල දැන් දන්නවනේ. එතකොට මේ මූලික භෞතික රාශි 7 ට මාන තියනව.

හැබැයි අපිට උසස් පෙළ මට්ටමේදි ඕනෙ වෙන්නෙ ඔය මුලින් තියන දිග, ස්කන්ධය, කාලය කියන රාශි තුනේ මාන විතරයි. ඒ කිව්වෙ ඒව විතරයි මතක තියාගන්න ඕනෙ. හැබැයි ඉතින් අනිත් මානත් ගනන් වල දෙන්න පුලුවන්, එහෙම දෙද්දි ඒ මාන දත්තයක් විදිහට දෙනව.(අපි ඉස්සරහට බලමුකො මේකෙ ගනන් ගැන.)

2.ව්‍යුත්පන්න මාන

මේ මාන ක්‍රමයෙදි ව්‍යුත්පන්න භෞතික රාශි වලට අලුතෙන් මාන හඳුන්වල දීල නෑ. ඒවයෙ මානත් කියන්නෙ මූලික මාන වල සංයෝජනයක් විදිහට. උදාහරණයක් විදිහට අපි වේගය කියන ව්‍යුත්පන්න භෞතික රාශිය ගමුකො. 

වේගය = දුර/කාලය 

මේකෙ දුර කියන්නෙ දිගක් නෙ. එතකොට ඒකෙ මාන L. කාලයේ මාන T. (මාන ලියද්දි කැපිටල් අකුරෙන් ලියන්න අමතක කරන්න එපා.) එතකොට,

[වේගය] = [දුර] / [කාලය]

ඔය කොටු වරහන දාන එකෙන් අදහස් වෙන්නෙ ඒ රාශියෙ මාන කියන එක. ඒ කිව්වෙ, උඩ තියන ප්‍රකාශනයෙන් කියවෙන්නෙ වේගයේ මාන දුරේ මාන කාලයේ මාන වලින් බෙදුවහම එන මාන සංයෝජනයට සමාන වෙනව කියන එක. තේරුනානෙ... එහෙනම්,

[වේගය] = L/T = LT¯¹
දැන් මේ ව්‍යුත්පන්න මාන කියන එක තේරුනානෙ. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඊළඟට කතාකරන්න තියෙන්නෙ මාන සම්බන්ධ නීති ගැන. ඊට කලින් පොඩ්ඩක් කියන්න ඕනෙ මාන සමීකරණ ගැන. අපි කලින් අර වේගයට ලිව්වෙත් මාන සමීකරණයක් තමයි. මාන සමීකරණයක් කියන්නෙ සමාන ලකුණ දාල ප්‍රකාශනයක දෙපැත්තෙ මාන සමාන කරන එක.

  • සමීකරණයක් හරි නම් ඒකෙ වම් පැත්තෙ මාන දකුණු පැත්තෙ මාන වලට සමාන වෙන්න ඕනෙ.
  • සමීකරණයක් නිවැරැදි නම් ඒකෙ වීජීය ඓක්‍යය ලබාගත්ත පද වල මාන සමාන වෙන්න ඕනෙ. ( මේක ඕන කෙනෙක්ට තේරෙනවනෙ ; ප්‍රවේගයකට බලයක් එකතු කරන්න බෑ වගේ )
අපිට ඊළඟට කතාකරන්න තියෙන්නෙ මාන සම්බන්ධයෙන් අනිවාර්‍යයෙන් දැනගන්න ඕනෙ කරුණු ඒ කිව්වෙ මාන සම්බන්ධ නීති තමයි. ඒවත් එක්ක අපි ඊළඟ ලිපියෙන් හමුවෙමු.
මතක ඇතුව ඔයාලගෙ අදහස් පහළින් comment කරන්න. ප්‍රශ්න තියනවනම් අනිවාර්‍යයෙන් ඒවත් අහන්න. ඔයාලගෙ යාලුවන්ටත් දැනගන්න share කරන්න.


No comments:

Post a Comment

පදාර්ථ හා විකිරණ [2.ප්‍රකාශ විද්‍යුත් ආචරණය (i) ]

ඔන්න අද අපි කතා කරන්න යන්නේ පදාර්ථ හා විකිරණ පාඩමේ දෙවැනි කොටස. අපි මේ පාඩමේ පලවෙනි කොටස වෙච්ච තාප විකිරණය ගැන කලින් ලිපිවලින් සාකච්ඡා...