Thursday, February 28, 2019

දෛශික (i) කොටස


අද පටන් ගන්න යන්නේ උසස් පෙළ භෞතික විද්‍යාව ඉගෙන ගද්දී නැතුවම බැරි වෙන පාඩමක්. ඒ මොකක්ද? ඒ තමයි දෛශික. අපි වැඩි කතා නැතුව එහෙනම් පාඩමට යමු.

මොනවද මේ දෛශික කියන්නේ? සරලවම කිව්වොත් දෛශිකයක් කියන්නේ විශාලත්වයක් හා දිශාවක් තියෙන භෞතික රාශි. පාඩම දෛශික උනාට මේකෙදි අදිශ ගැනත් කියන්න වෙනවනේ 😂. එතකොට අදිශ කියන්නේ විශාලත්වයක් තිබ්බත් දිශාවක් නැති භෞතික රාශි. අපි දැන් බලමු මේ දෛශික සහ අදිශ වලට උදාහරණ මොනාද කියල.

දෛශික
විස්ථාපනය
ප්‍රවේගය
බලය
ගම්‍යතාවය
ත්වරණය

අදිශ
කාලය
ස්කන්ධය
ශක්තිය
කාර්යය
උෂ්ණත්වය

දැන් අපි කතා කළානෙ දෛශිකයක් කියන්නේ මොකක්ද දෛශික වලට උදාහරණ එහෙම. ඊලඟට අපිට බලන්න තියෙන්නේ දෛශිකයක ජ්‍යාමිතික නිරූපණය ගැන.

දෛශිකයක ජ්‍යාමිතික නිරූපණය

දෛශිකයක් ජ්‍යාමිතිකව නිරූපණය කරනවා කියන්නේ රූප සටහනක් මගින් දෛශිකය දක්වන එක. අපි දැන් කිව්වනේ දෛශිකයක් කියන්නේ විශාලත්වයක් සහ දිශාවක් තියන රාශි කියලා. එනිසා දෛශිකයක් ජ්‍යාමිතිකව නිරූපණය කරද්දී අපි අනිවාර්යයෙන්ම විශාලත්වය සහ දිශාව දක්වන්න ඕන. සාමාන්‍යයෙන් අපි බහුලව දෛශිකයක් ජ්‍යාමිතිකව නිරූපණය කරන්න භාවිතා කරන ක්‍රම දෙකක් තියෙනවා.

  1. පලවෙනි ක්‍රමය තමයි පරිමාණයට ඇඳපු සරල රේඛා ඛණ්ඩයක් මගින් දෛශිකය නිරූපනය කරන එක. එතකොට ඒ සරල රේඛා ඛණ්ඩය මත ඊතලයක් දාල දෛශිකයේ දිශාව පෙන්නනවා.
  2. දෙවෙැනි ක්‍රමයෙදි කරන්නේ පරිමාණයක් ගන්නැතුව සරල රේඛා ඛණ්ඩයක් අඳිනවා. කලින් වගේම මේකෙත් ඒ සරල රේඛ ඛණ්ඩය මත යොදන ඊ හිසක අභිදිශාව මඟින් දෛශිකයේ දිශාව පෙන්නනවා. මේ ක්‍රමයෙන් දෛශිකයේ විශාලත්වය දක්වන්නෙ ඊතලය ළඟ ලියලා.
දැන් අපි කතා කරේ දෛශිකයක ජ්‍යාමිතික නිරූපණය නෙ. ඊළඟට අලඟට අපිට කතා කරන්න තියෙන්නේ දෛශිකයක ගණිතමය නිරූපණය ගැන. 

දෛශිකයක ගණිතමය නිරූපණය

මොකක් හරි සමීකරණයකදි වගේ  අපිට දෛශිකයක් දක්වද්දී ඉරි කෑලි ගගහා ඉන්න බෑනේ. අන්නේ ඒ නිසා තමයි මේ දෛශිකයක ගණිතමය නිරූපණය අපිට ඕනේ වෙන්නේ. ජාමිතික නිරූපණය වගේම තමයි ගණිත මේ නිරූපණයෙත් ක්‍රම දෙකක් තියෙනවා.
  1. අපි දැන් මේ කතා කරන්න යන ක්‍රමය යොදා ගන්නේ ජයාමිතික ව දක්වන්න පලවෙනි ක්‍රම යොදා ගත්තා නම් විතරයි. මේකෙදි කරන්නේ ජ්‍යාමිතිකව දක්වලා තියෙන දෛශිකයේ ආරම්භක හා අවසාන ලක්ෂ්‍ය අතර ඉංග්‍රීසි කැපිටල් අකුරු දෙකක් යොදනව. ඊට පස්සේ ඒ අකුරු අනුපිළිවෙලට ලියලා ඊට ඉහළින් වමේ සිට දකුණට ඊ හිසක් යොදල ඒක ගණිතමය ලෙස දක්වනවා.
  2. මේ ක්‍රමය යොදාගන්නේ දෛශිකය ජ්‍යාමිතිකව නිරූපණය කරන්න 2 වෙනි ක්‍රමය යොදා ගත්තා නම් විතරයි. මේකෙදි කරන්නේ දෛශිකයේ විශාලත්වය ලියලා ඊට පහලින් කුඩා සරල රේඛා ඛණ්ඩයක් ගහනව.
දෛශික 2 ක් එකිනෙකට සමාන වීමට තිබිය යුතු අවශ්‍යතා

දැන් අපි බලමු දෛශික දෙකක් එකිනෙකට සමාන වෙන්න තියෙන්න ඕන අවශ්‍යතාවයන් මොනවාද කියලා. මේකට අවශ්‍යතාවයන් හතරක් ඕනේ. හැබැයි මේ අවශ්‍යතාවයන් 4 න් එකක් හරි නැත්තං ඒ දෛශික දෙක සමාන දෛශික දෙකක් වෙන්නේ නැහැ.
  1. දෛශික දෙකෙහි විශාලත්ව සමාන වෙන්න ඕන.
  2. ඒ දෛශික දෙක සමාන්තර වෙන්න ඕන.
  3. ඒ දෛශික දෙකේ අභි දිශාවන් සමාන වෙන්න ඕනේ.
  4. ඊළඟට සමජාතීය වෙන්න ඕනේ 
(දෛශිකයක අභිදිශාව කියන්නෙ ඒ දෛශිකය යොමු වෙලා තියෙන දිශාව. ඒක දන්නවනේ.)
දැනට කතා කරපු කරුණු ටික ගොඩක් සරල නිසා වැඩිපුර පැහැදිලි කරන්න ඕන නැහැ නෙ.

ඔයාලට මතකනේ අපි දැන් ටිකකට කලින් කිව්වා දෛශිකයක් ගණිතමය විදිහට නිරූපණය කරන පලවෙනි ක්‍රමය. ඒකෙදි අපි කරේ අනුපිළිවෙළින් ගත්තා කුරු දෙකක් මඟින්නෙ දෛශිකය දැක්වුවෙ. ඒකෙ අකුරු මාරු කරහම පොඩි වැඩක් වෙනවා. එකේ අකුරු මාරු කරපු ගමන්ම ඒක ඍණ ලකුණකින් වැඩි කරන්න වෙනවා. 
මේ කරුණ ඔයාල අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනි. 
අපි මේ දැන් කතා කරන ඒවා සම්මුති නිසා අපිට මේව තර්කානුකූලව විස්තර කරන්න බෑනෙ. ඒ උනාට මේවා මතක තියාගන්න එක අත්‍යවශ්‍ය දෙයක්. හරිනෙ,. 

තවත් වැදගත් කරුණක් තියෙනවා කියන්න. ඒ තමයි මොකක්හරි දෛශිකයක ඍණ දෛශිකය කියන්නේ ඒ දෛශිකයට හැම අතින්ම සමාන දිශාවෙන් විතරක් ප්‍රතිවිරුද්ධ වෙන දෛශිකය. මේකත් ඔයාලා මතක තියාගන්න ඕන දෙයක්. මේවා ඉතින් සරල දේවල් නේ. පාවිච්චි කරනවත් එක්කම මේවා නිකම්ම ම අවබෝධ වෙනවා. අපි ඉස්සරහට ගණන් හදද්දි ඕගොල්ලන්ට මේව තවත් හොඳට තේරෙයි.

දෛශිකයක මාපාංකය 

මොකක්ද මේ දෛශිකයක මාපාංකය කියන්නේ? මොකක්හරි දෛශිකයක් ඒකෙ දිශාව , ඒකක , ලකුණ නොසලකා හැරලා දෛශිකයේ විශාලත්වය පමණක් සලකනවා නම් අන්න ඒකට කියනව ඒ දෛශිකයේ මාපාංකය කියල.

ඊළඟට ගොඩක් ළමයි ප්‍රශ්න වලදි පටලවගන්න දෙයක් තමයි මේ දෛශික දෙකක් අතර කෝණය කියන එක. මේ දෛශික දෙකක් අතර කෝණය දෛශික 2 ඕන විදියකට තිබ්බහම හැදෙන කෝණයක් වෙන්නේ නෑ. 

දෛශික දෙකක් අතර කෝණය 

දෛශික දෙකක් අතර කෝණය කියන්නේ ඒ දෛශික දෙකෙහි ඡේදන ලක්ෂ්‍යයෙ ඉඳලා බලද්දි අභි දිශා දෙකම ඡේදන ලක්ෂණ ඉවතට හරි ඡේදන ලක්ෂ්‍යය තුළට හරි තියන විදිහට හැදෙන කෝණය. බලන්නකෝ.

අද අපි මේ ලිපියෙන් දෛශික වල මූලික කරුණු ටික සාකච්ඡා කරා. ඊළඟ ලිපියෙන් අපි සාකච්ඡා කරන්නේ දෛශික වල සම්ප්‍රයුක්තය හොයන ක්‍රම ගැන. ඒ වගේම මේ ගැන ඕගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.  අපේ facebook page එකටත් like කරන්න. ඔයාලට මේ සම්බන්ධව තේරුනේ නැති මොකක් හරි  හරි විෂය කරුණක් තියෙනවා නම් ඒ ගැන අනිවාර්යෙන්ම පහලින් comment කරන්න. එහෙනම් අපි ඊලඟ ලිපියෙන් දෛශික වල සම්ප්‍රයුක්තය හොයන විධි ගැන කතා කරමු.


ඒකක සහ මාන [2.මාන(ii)]


අද අපි කතාකරන්න යන්නෙ මාන සම්බන්ධ නීති ගැන. මේක තමයි ඒකක හා මාන පාඩමේ 3 වෙනි ලිපිය. ඒ වගේම මාන වල 2 වෙනි ලිපිය.
එහෙනම් අපි බලමු මොනවද මේ මාන සම්බන්ධ නීති කියන්නෙ කියල.

1.
කිසිම ඉලක්කමකට මාන නෑ. මේක සාමාන්‍ය දෙයක්නෙ. මාන තියෙන්නෙ මොනවහරි භෞතික රාශියකටනෙ. ඒත් දැනගෙන ඉන්න ඕනෙ අනිවාර්යයෙන්.

2.
මොකක් හරි භෞතික රාශියක මාන මූලික මාන වල සංයෝජනයක් විදිහට ලිව්වහම හැම මාන සංකේතයකම දර්ශකය ශුන්‍ය නම් අන්න ඒ භෞතික රාශියට මාන නෑ.

3.
නියතයක් ගත්තහම මාන තියෙන්නත් පුලුවන්. නැතිවෙන්නත් පුලුවන්. ඉතින් නියතයකට මාන නෑ කිව්වොත් වැරදියි. භෞතික විද්‍යාවෙ ඉස්සරහට ඔයාලට හම්බවෙන සමීකරණ වලදි මේ කරුණ කිහිප සැරයක් දකින්න ලැබෙයි.

4.
යම් පදයක් කුමක හෝ දර්ශකයක් ලෙස පවතිනවනම් අන්න ඒ දර්ශකය විදිහට තියන සමස්ථ පදයට මාන නෑ.

5.
sinA , cosA , tanA වගේ ත්‍රිකෝණමිතික අනුපාත අරගෙන තියනවනම් A ට මාන නෑ. ඒ වගේම sinA , cosA , tanA යන සමස්ථ පදයටමත් මාන නෑ.

6.
A කියල පදයක ලඝුගණකය අරගෙන තියනවනම් කලින් වගේමයි. A ටත් මාන නෑ logA ටත් මාන නෑ.

ඔය කරුණු ටික තමයි මාන සම්බන්ධ නීති විදිහට කියන්න තියෙන්නෙ. නීති කිව්වට ඉතින් මේව නීති නෙවෙයි රීති. කොහොමහරි ඔයාල මේ දේවල් අනුගමනය කරන්න ඕනෙ. මේව නොදැන විභාගෙට යන එක අති භයානක වැඩක්. ගොඩක් ප්‍රශ්න ඇහුවෙ නැති උනත් අහන එකටවත් උත්තර දෙන්න බැරිනම් වැඩක් නෑනෙ.

දැන් අපි බලමු කොහොමද ව්‍යුත්පන්න භෞතික රාශියක මාන හොයන්නෙ කියල.
මේ ප්‍රශ්න ටික කරන්නකො බලන්න.


  1. ආවේගය යනු බලය කාලයෙන් ගුණ කිරීමෙන් ලැබෙන භෞතික රාශියකි. ආවේගයේ මාන සොයන්න.
  2. තරලයක් ගලා යන විට ප්‍රවාහ සීග්‍රතාවය යනු ගලාගිය පරිමාව කාලයට දරණ අනුපාතයයි. ප්‍රවාහ සීග්‍රතාවයේ මාන සොයන්න
  3. රළු තලයක් මත ගමන් කරන ස්කන්ධය m වන වස්තුවක් මත ක්‍රියාකරන ඝර්ෂණ බලය F නම් , F =μmg වේ. g ගුරුත්වජ ත්වරණය නම් μ නියතයේ මාන සොයන්න.
ඒකක මාන පරිවර්තනය ගැන ඔයාලට ගොඩක් වැදගත් දෙයක් කියන්න තියනව. ඒ තමයි, අපිට මාන වලින් ඒකක ලියන්න පුලුවන්. හැබැයි පරිපූරක ඒකක තිබ්බොත් බෑ. මේ බලන්නකෝ.

ඔන්න අපිට දැන් කතාකරන්න තියෙන්නෙ මාන විශ්ලේෂණය ගැන.

මාන විශ්ලේෂණය

මොකක්ද මේ මාන විශ්ලේෂණය කියන්නෙ. මේක හරිම සරල දෙයක්. මේකෙදි වෙන්නෙ මොකක් හරි සමීකරණයක් අරගෙන ඒකෙ දෙපැත්තෙ මාන වල දර්ශක සමාන කරන එක. එහෙම කරද්දි දර්ශක සමාන උනේ නැත්තන් ඒ සමීකරණය පැහැදිළිවම වැරදියි. දෙපැත්තෙ මාන වල දර්ශක සමාන උනොත් සමීකරණය නිවැරදියි කියන්න බෑ. කියන්න පුලුවන් ඒ සමීකරණය මාන වශයෙන් නිවැරැදියි කියල විතරයි. ඔය සිද්ධිය වෙන්නෙ මාන නැති භෞතික රාශිත් තියන නිසා.

අපිට මාන විශ්ලේෂණයෙන් පුලුවන් සමීකරණ ගොඩනගන්න.

මාන විශ්ලේෂණයෙන් සමීකරණ ගොඩනැගීම

මේකෙදි අපි අනුගමනය කරන්න ඕන පියවර ටිකක් තියනව. අපි බලමු මොනවද ඒ කියල.
  • සමීකරණයෙ උක්ත කරන්න ඕනෙ පදය එක පැත්තකට (වම් පැත්තටනෙ ඉතින් සාමාන්‍යයෙන් ගන්නෙ) අරගෙන ඉතිරි පද ටික අනිත් පැත්තෙ තියන විදිහට සමානුපාතික ලකුණෙන් සම්බන්ධ කරනව. මේකෙදි අපි උක්ත කරපු පදේ දර්ශකය 1 විදිහට තියාගෙන අනිත් පැත්තෙ පද වල දර්ශක විදිහට x,y,z වගේ නොදන්න පද දානව.(ඇයි ඉතින් අපි මේවගෙ දර්ශක දන්නෙ නෑනෙ. ඒකයි) 
  • දැන් බලන්න ඕනෙ අපි උක්ත කරපු රාශිය රඳා පවතින සියලුම රාශි අනිත් පැත්තෙ ලියවිලාද කියල. එහෙම ලියවිලා නැත්තන් වැඩේ ඔතනින් ඉවරයි. ලියවිලා නම් අපිට දැන් කරන්න තියෙන්නෙ මාන නැති නියතයක් දාල සමීකරණයක් බවට පත් කරගන්න එක. (මාන නොමැති නියතයක් කියල ඔයාල ලියල පෙන්නන්න ඕනෙ ගාන හදන තැන. මාන නැති නියත ගන්නෙ සමීකරණයට හානියක් නොවෙන්න.)
  • දැන් ඉතින් කරන්න තියෙන්නෙ මාන විශ්ලේෂ්ණය කරන එක. ඒ කිව්වෙ දෙපැත්තෙ මාන වල සංගුණක සමාන කරන එක. ඊට පස්සෙ අර අපි ගත්තු x,y,z වලට එන අගයන් දාල සමීකරණය ලියන්නයි තියෙන්නෙ. එතකොට නියතෙට මොකද කරන්නෙ? ඒකට එයාල ගානෙ දෙනව නියතය මොකක්ද කියල. නැත්තන් කියනව "නියතය 1 බව පරීක්ෂ්ණාත්මකව ඔප්පු කර ඇත" කියල. එච්චරයි!  මේ ගාන බලන්නකෝ
  1. ඇදි තන්තුවක් තුළ තීර්යක් තරංග ගමන් කරන විට තරංග ප්‍රවේගය V රඳාපවතින්නේ එම තන්තුවේ ආතතිය T හා ඒකක දිගක ස්කන්ධය m මත පමණි. (පමණි කියල කිව්වෙ නැත්තන් ගාන හදන්න බෑනෙ. ඇයි අපි දන්නෑනෙ තව මේක රඳාපවතින සාධක තියනවද කියල) V සඳහා ප්‍රකාශනයක් T හා m ඇසුරින් ගොඩනගන්න. සමානුපාතික නියතය 1 වේ.
මේව නම් හරි ලේසියිනෙ. ඒත් හරියට ඉගෙන ගන්න එක මාර වැදගත්.

සමීකරණයක් මාන වශයෙන් හරියන්න මොකද වෙන්න ඕනෙ. 
ඔයාල දන්නව අනිවාර්යයෙන්ම දෙපැත්තෙ මාන සමාන වෙන්න ඕනෙ.
ඊළඟට මේකෙ වීජීය ඓක්‍යය ලබාගත්ත පද තියනවනම් ඒ පදවල මාන සමාන වෙන්න ඕනෙ. මේ ගැන කලින් කියල තියනවනෙ. (මාන 1 කොටස) 
ඔය ටික හරිනම් ඔන්න අපිට කියන්න පුලුවන් ඒ සමීකරණය මාන වශයෙන් නිවැරැදියි කියල. මාන වශයෙන් විතරයි හැබැයි.

මාන වල තව කියන්න තියන දෙයක් තමයි මේ මාන විශ්ලේෂණයේ සීමා කියන්නෙ. 
අපි මුලින් කිව්වනෙ අපි A/L වලදි පාවිච්චි කරන්නෙ M , L , T කියන මාන 3 විතරයි කියල. ඊට එහා මාන තියන භෞතික රාශි වල මාන ගැන අපි කතා කරන්නෙ නෑ. එතකොට මොනවද මේ මාන විශ්ලේෂණයේ සීමා.
  • මාන විශ්ලේෂණ ක්‍රම වලින් සමානුපාතික නියතයේ අගය හොයන්න බෑ  ඒකනෙ මං කිව්වෙ ගානෙ දීල තිබ්බෙ නැත්තන් හදන්න බෑ කියල.
  • ඊළඟට මේකෙන් හොයන්න පුලුවන් උපරිම වශයෙන් භෞතික රාශි 4 ක් අතර සම්බන්ධය විතරයි. (M , L , T සහ උක්ත කරපු රාශිය)
  • ඊළඟට මාන විශ්ලේෂණ ක්‍රම වලින් මාන නැති භෞතික රාශි අතර සම්බන්ධතා ලබාගන්න බෑ.
ඔන්න එහෙනම් අපි මිනුම් කියන පාඩමේ ඒකක හා මාන කියන කොටස ඉවර කළා. මේ කොටස ගැන අපි කිව්වට වඩා පොඩ්ඩක්වත් ඔයාල දැනගෙන ඉන්න ඕනෙ නෑ. මේ ටික වැඩිත් එක්ක. 
ඔයාලගෙ අදහස් පහළින් comment කරන්න අමතක කරන්න එපා. ඔයාලගෙ comment එකක් අපිට සෑහෙන හයියක්. ඒක මේ වැඩේ දිගටම කරගෙන යන්න ශක්තියක්. ඉතිං ඒ වගේම මේ පාඩම සම්බන්ධව ඔයාලට මොනා හරි ගැටලුවක් තියෙනව නම් අනිවාර්යයෙන්ම ඒවත් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. 

Wednesday, February 27, 2019

පදාර්ථ හා විකිරණ [1.තාප විකිරණ (i) - තාප විකිරණ වල ගුණ]


අද අපි කතා කරන්නෙ තාප විකිරණ වල ගුණ ගැන. මේ ටික දැනගෙන හිටියොත් හොඳ නිසා තමයි කියල දෙන්න හිතුවෙ.
අපි කිව්වනෙ මේ තාප විකිරණ කියන්නෙ විද්‍යුත් චුම්භක වර්ණාවලියෙ අධෝරක්ත කලාපයෙ තියන කිරණ විශේෂයක් කියල. ඉතින් මේ තාප විකිරණ වලටත් විද්‍යුත් චුම්භක තරංග වලට තියන ගුණ එහෙම්මම තියනව. මේව ඔයාල දන්නවත් ඇති.
අපි බලමු මේ ගුණ මොනවද කියල.


  1. දැන් අපි කිව්වනෙ තාප විකිරණ කියන්නෙ විද්‍යුත් චුම්භක තරංග විශේෂයක් කියල. එහෙනම් මේව ප්‍රචාරණය වෙන්නෙ කොහොමද? මේව ප්‍රචාරණය වෙන්නෙ තීර්යක් තරංග විදිහට. (දෝලන හා තරංග පාඩමේදි අපි මේ තීර්යක් තරංග ගැන සවිස්තරාත්මකව සාකච්ඡා කරමු.) සරලව කිව්වොත් තීර්යක් තරංග කියන්නෙ තරංගයක් ප්‍රචාරණය වන දිශාවට ලම්භක දිශා 2 කට විද්‍යුත් හා චුම්භක ක්ශේත්‍ර කම්පනය වෙනව.  ඔයාල අහල තියනවනෙ නිදහස් මාධ්‍යයකදි , නැත්තන් රික්තයකදි විද්‍යුත් චුම්භක තරංග ප්‍රචාරාණය වෙන්නෙ 3 × 10⁸ m s -¹ වේගයකින් කියල ඔයාල දන්නවනෙ. ඔය වේගයේ ඔය අගය ගන්න චුම්භක ක්ශේත්‍රයයි, විද්‍යුත් ක්ශේත්‍රයයි 2 ම බලපානව. ඒ වේගය ලැබෙන්න සමීකරණෙකුත් තියනව. බලන්නකො මේක. 
ඔය සමීකරණෙ "එප්සයිලන් නෝට්" කියල තියෙන්නෙ නිදහස් මාධ්‍යයේ පාරවේද්‍යතාවය. එතකොට "මියු නෝට්" කියල තියෙන්නෙ නිදහස් මාධ්‍යයේ පාරගම්‍යතාව. පාරගම්‍යතාව තියෙන්නෙ චුම්භක වලදි, පාරවේද්‍යතාව තියෙන්නෙ විද්‍යුත් ක්ශේත්‍ර වලදි. තේරෙනව නේද විද්‍යුත් චුම්භක තරංග වල වේගයට විද්‍යුත් ක්ශේත්‍ර, චුම්භක ක්ශේත්‍ර වල බලපෑමක් තියනව කියල. එතකොට ඕකෙන්  3 × 10⁸ m s -¹ විදිහට ප්‍රචාරණ වේගෙ එනවද.? ඔව් එනව. පහළ අගයන් ආදේශ කරල ඕනෙනම් බලන්න.

2. ඊළඟ එක තමයි මේ තාප විකිරණ වලට බාහිර චුම්භක , විද්‍යුත් ක්ශේත්‍ර වල බලපෑමක් ඇති වෙන්නෙ නෑ. (මේකත් විද්‍යුත් චුම්භක තරංග වල ගුණයක්.)

3. ඊළඟ එක තාප විකිරණ ප්‍රචාරණය වෙන්න මාධ්‍යයක් ඕනෙ නෑ. මාධ්‍යයක් තිබ්බත් ඒක ඕනෙ වෙන්නෙ නෑ ප්‍රචාරණය වෙන්න.

4. තාප විකිරණ පරාවර්තනය වර්තනය විවර්තනය කියන සේරම තරංග ගුණ පෙන්නනව. වර්තනයයි පරාවර්තනයයි නම් විද්‍යාගාරයෙදි අපිට කරල බලන්නත් පුලුවන්. 
මේකෙ තාප විකිරණ පිටකරන්න ප්‍රභවයක් එපැයි. ඒකට ගන්නෙ රක්ත තප්ත වෙනකන් (තැඹිලි පාට වෙනකන්) රත්කරපු යකඩ බෝලයක්. ඊට පස්සෙ ඒක විකිරණ කදම්භයක් ගන්න බටයක් ඉස්සරහින් තියල බටේ අනිත් පැත්තෙ සුමට ඔප දාපු (ඒ කිව්වෙ දිලිසෙන) තහඩුවක් තියල අනිත් පැත්තෙ අනාවරකයක් තියල අපිට බලන්න පුලුවන් පරාවර්තනය වෙන හැටි. වර්තනය බලන්න ඔය කදම්භය ප්‍රිස්මයකින් යැව්වනම් හරි.


5. තාප විකිරණ වලට පුලුවන් ප්‍ෘෂ්ඨ තුළින් ඉවතට යන්නත් ප්‍ෘෂ්ඨ තුළට යන්නත්. ඒක ඉතින් දන්නවනේ. ඔප දාපු හොඳට දිලිසෙන ප්‍ෘෂ්ඨයක්නම් සේරම තාප විකිරණ පරාවර්තනය කරනව.
සුදු පාට ප්‍ෘෂ්ඨයක්නම් තාප විකිරණ චුට්ටක් අවශෝෂණය කරල ඉතිරි සේරම පරාවර්තනය කරනව.
කළු ප්‍ෘෂ්ඨයකින්නම් සේරම තාප විකිරණ අවශෝෂණය කරනව. මතකනෙ මේස් එකේ කතාව.(දන්නැත්තන් කලින් ලිපි බලන්න)

ඉතින් ඔය ටික තමයි තාප විකිරණ ගැන කියන්න තියන වදගත් කරුණු ටික. තාප විකිරණ වලට ගොඩක් තියෙන්නෙ විද්‍යුත් චුම්භක තරංග වල ලක්ෂ්ණ කියල දැන් පැහැදිළියි නේද? 
අපි එහෙනම් මේ පාඩමේ ඊළඟ කොටසින් හමුවෙමු.
ඔයාලගෙ අදහස් , ගැටළු , පහළින් comment කරන්න. 

Tuesday, February 26, 2019

පදාර්ථ හා විකිරණ [1.තාප විකිරණය (iii)]


ඔන්න අද අපි මේ කතාකරන්නෙ පදාර්ථ හා විකිරණ පාඩමෙ 3 වන ලිපිය. මීට කලින් ලිපි කියෙව්වෙ නැත්තන් මෙතනින් ගිහිල්ල කියවන්න.
ඉතින් අද අපි කතා කරන්න යන්නෙ වැදගත් කොටසක්. ඒ තමයි මේ ස්ටෙෆාන් නියමය කියන්නෙ.

ස්ටෙෆාන් නියමය

කලින් අපි තාප විකිරණ ගැන කතාකළානෙ. ඉතින් ඉස්සර විදාඥයො පරීක්ෂණ කළා රත් වෙච්ච වස්තුවකින් පිටවන තාප විකිරණ සම්බන්ධව. ඔය අතරින් ප්‍රධානම විද්‍යාඥයෙක් තමයි මේ ස්ටෙෆාන් කියන්නෙ. මෙයා එයාගෙ අධ්‍යයන වලින් එයාගෙම කියල නියමයක් ඉදිරිපත් කළා. ඒකට තමයි කියන්නෙ ස්ටෙෆාන් නියමය කියල. මේ පරීක්ෂණ කළේ 1870 ගණන් වල. හරියටම කිව්වොත් මේ නියමය කිව්වෙ 1879 දි. ඉතින් පේනවනෙ මේ තාප විකිරණ අධ්‍යයනයට ලොකු ඉතිහාසයක් තියනව කියල. අපි බලමු මේ නියමයෙන් මොකක්ද කිව්වෙ කියල.

රත්වූ ක්‍ෘෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයකින් තත්පරයකදී නිකුත් කරනු ලබන මුළු ශක්ති ප්‍රමාණය , එම වස්තුව පවතින තාපගතික උෂ්ණත්වයේ 4 වන බලයට සමානුපාතික වේ.

මේක මෙහෙම ලියන්න පුලුවන් ,

E α T⁴

ඕකෙ සමානුපාතිකත්වයේ නියතය (සමානුපාතයක් සමීකරණයක් කරන්න නියතයක් දාන්න ඕනෙ කියල දන්නවනෙ. අන්න ඒ නියතෙට තමයි සමානුපාතිකත්වයේ නියතය කියන්නෙ.) σ (සිග්මා). ඒකට කියනව ස්ටෙෆාන් නියතය නැත්තන් ස්ටෙෆාන් බෝල්ට්ස්මාන් නියතය කියලත් කියනව. ඒකෙ අගය තමයි මේ, ඒකක දිහාත් බලන්නකො. සමීකරණෙම්මයි ඇවිල්ල තියෙන්නෙ.

 එතකොට මේ සමීකරණය මෙහෙම ලියන්න පුලුවන්,

E = σT⁴ 

ඔය E වලින් කියවෙන්නෙ 1s දී ඒකක වර්ගඵලයකින් පිටවෙච්ච මුළු විකිරණ ශක්තියනෙ. එතකොට ඒ වස්තුවෙන් පිටවෙච්ච මුළු විකිරණ ශක්තිය ගන්නෙ කොහොමද? 

මේ සමීකරණයෙන් ගනන් හැදුවහම තමයි හරියටම මේ කියන කතාව අවබෝධ වෙන්නෙ. 
හැබැයි ගනන් හදන්න කලින් ඔයාල ඉගෙන ගෙන ඉන්න ඕනෙ ප්‍ෘෂ්ඨික අවශෝෂකතාව සහ ප්‍ෘෂ්ඨික විමෝචකතාව කියන එක. එහෙනම් අපි දැන් ඒ ගැන බලමු.

ප්‍ෘෂ්ඨික අවශෝෂකතාවය හා විමෝචකතාවය

අපි පලවෙනි ලිපියෙන් කිව්වනෙ රත්වෙච්ච වස්තුවකින් තාප විකිරණ පිටවෙන සීග්‍රතාවය ඒ වස්තුවෙ ප්‍ෘෂ්ඨික ස්වභාවය මත රඳා පවතිනව කියල. ඇයි මතක නැද්ද ලෙස්ලි ඝනකය.😀
ඉතින් මේ ප්‍ෘෂ්ඨික විමෝචකතාව කියන එක සංකේතවත් කරන්නෙ e අකුරෙන්. 
ඔන්න දැන් ඔයාලට අවබෝධ කරගන්න දෙයක් තියනව. ඒක තමයි මේ e ගෙ අර්ථ දැක්වීම. මේක අර්ථ දක්වන්න අපි ගන්නව ( මේක අපි විතරක් ගන්න එකක් නෙවේ. විමෝචකතාවය මෙහෙම තමයි අර්ථ දක්වන්නෙ ) ක්‍ෘෂ්ණ වස්තුවකුයි, ක්‍ෘෂ්ණ නොවන වස්තුවකුයි. 
එතකොට e කියන්නෙ, 
ක්‍ෘෂ්ණ නොවන වස්තුවකින් ඒකක කාලයකදී ඒකක වර්ගඵලයකින් පිටකරන විකිරණ ශක්තියත් (E₁) ඊට සමාන උෂ්ණත්වයේ පවතින පූර්ණ ක්‍ෘෂ්ණ වස්තුවක් මඟින් ඒකක කාලයකදි ඒකක වර්ගඵලයකින් පිටකරන විකිරණ ශක්තියත් (E₀) අතර අනුපාතය.
සමීකරණයක් විදිහට ලිව්වොත්,
e = E₁/E₀ මෙහෙම ලියන්න පුලුවන්.

e ට තියෙන්නෙ පුලුවන් උපරිම අගය ගැන දැන් ඔයාලට තේරෙන්න ඕනෙ. නැත්තන් වැඩක් නෑ. e ට තියෙන්න පුලුවන් උපරිම අගය 1 යි. ඇයි කවදාවත් පූර්ණ ක්‍ෘෂ්ණ වස්තුවකට වඩා වැඩිපුර විකිරණ පිටකරන ක්‍ෘෂ්ණ නොවන වස්තුවක් තියෙන්න බෑනෙ. ඒ නිසා කවදාවත් ලවයට එන්නෙ නෑ හරයට වඩා විශාල සංඛ්‍යාවක්. එතකොට හැමතිස්සෙම මේ අගය 1 ට අඩුයි. පූර්ණ ක්‍ෘෂ්ණ වස්තුවක් නම් විතරක් e =1 වෙනව. මං මේ හැමතැනම e කියල කිව්වෙ ප්‍ෘෂ්ඨික අවශෝෂකතාව. එතකොට,

E = σT⁴  

මේ සමීකරණෙට තව e එකක් එනව. ඒ මොකක් උනොත්ද? ඒ වස්තුව ක්‍ෘෂ්ණ නොවන වස්තුවක් උනොත්. ක්‍ෘෂ්ණ වස්තුවක්නම් ඉතින් ඔය සමීකරණෙම තමයි. මොකද e = 1 යිනෙ.
(e = 1 කියන එක තව විදිහකට කිව්වොත් විකිරණ පිටවීම සීයට සීයයි.100%)

දැන් අපි බලමු ප්‍ෘෂ්ඨික අවශෝෂකතාවය ගැන. මේක අර්ථ දක්වන්නෙ වෙනස් විදිහකට. හැබැයි හරි සරල දෙයක් තියෙන්නෙ. බලන්නකෝ,
එතකොට අපි මුලින් කිව්වනෙ ක්‍ෘෂ්ණ වස්තු හොඳ තාප අවශෝෂක වගේම විමෝචකද වෙනව කියල. එතකොට ඔයාලට දැන් පැහැදිළි වෙනව පූර්ණ ක්‍ෘෂ්ණ වස්තුවකට a වල අගය 1 යි කියල.

ඉතින් ඔන්න අපි ස්ටෙෆාන් නියමය ගැන ඔයාලට ගොඩාක් පැහැදිළිව කියල දුන්න. ආහ්... අර විමෝචකතාවෙට e , අවශෝෂකතාවෙට a ගත්තෙ ඒවගෙ ඉංග්‍රීසි වචන වලින්.
e = emissivity
a = absorptivity
හරිනෙ. 
දැන් ඔයාල කරන්න ඕනෙ ගනන් හදල මේක හොඳටම පුලුවන් කරගන්න එක. 

එහෙනම් මේ ගනන් ටික හදන්නකෝ.


  1. A හා B ගෝල දෙකක අරයන් පිළිවෙළින් 8mm හා 4mm වේ. ගෝල දෙකෙහි ප්‍ෘෂ්ඨීය ස්වභාවය සර්වසම වන අතර පිළිවෙළින් සෙ.127 හා සෙ.527 උෂ්ණත්ව වල පවතී. ගෝල දෙකෙන් විකිරණ පිටවීමේ සීග්‍රතා අතර අනුපාතය සොයන්න.
  2. විකිරණ තාපකයක දඟරය 0.6m දිගකින් හා 5mm අරයකින් යුක්තය. තාපකය 1.5 kW ලෙස සටහන් කර ඇත්නම් එහි ක්‍රියාකාරී උෂ්ණත්වය නිර්ණය කරන්න. මෙහිදී ඔබ ගන්නා උපකල්පන ඇතොත් ඒවාද සඳහන් කරන්න.
  3. ප්‍ෘෂ්ඨික වර්ගඵලය 5 cm² වූ වස්තුවකින් සෙ.727 උෂ්ණත්වයකදී 5.4 J s¯¹ සීග්‍රතාවයකින් ශක්තිය විමෝචනය කරයි. වස්තුවේ ප්‍ෘෂ්ඨික විමෝචකතාව e සොයන්න.
  4. දිග 1m හා විශ්කම්භය 1.5mm වන නික්‍රෝම් කම්බියක් සෙ.900 උෂ්ණත්වයකට නංවා ඇති විට එහි විකිරණ පිටවීමේ ක්ෂමතාව කොපමණද? 900සෙ. දී නික්‍රෝම් වල ප්‍ෘෂ්ඨික විමෝචකතාව 0.092 වේ.
  5. සෙල්සියස් අංශක 127 උෂ්ණත්වයේ ඇති ක්‍ෘෂ්ණ වස්තුවකින් වර්ග මීටරයට වොට් 1 × 10⁶ සීග්‍රතාවයකින් ශක්තිය විමෝචනය කරයි.ඉන් ශක්තිය විමෝචනය වීමේ සීග්‍රතාව වර්ග මීටරයට වොට් 16 × 10⁶ වන්නේ කිනම් උෂ්ණත්වයකදීද?

මේ තියෙන්නෙ ගොඩක් ලේසි ගනන් ටිකක්. තියරිය තේරෙන්න තමයි දුන්නෙ. බලන්න ඔයාලට මේ උත්තර ආවද කියල.
  1. 1:4
  2. 1088K
  3. 0.19
  4. 46.4W
  5. 800K
ඔයාලට මේ උත්තර ආවෙ නැත්තන් පහළින් comment කරන්න. කියලදෙන්නම්. මේවගෙදි ස්ටෙෆාන් නියතයට අපි අර කලින් ඉගෙන ගත්ත අගය දාන්නෙ. 

එහෙනම් ඊළඟට අපිට කතාකරන්න තියෙන්නෙ ක්‍ෘෂ්ණ වස්තු විකිරණයේ තීව්‍රතා ව්‍යාප්තිය ගැන. එහෙනම් අපි ඊළඟ ලිපියෙන් ඒ ගැන ඉගෙන ගමු.

ඔයාලට මේ පාඩම ගැන ගැටළු මොනවහරි තියනවනම් අනිවාර්‍යයෙන් පහළින් comment කරන්න. ඔයාලගෙ යාලුවන්ටත් මේ දේවල් ඉගෙන ගන්න මේක share කරන්න අමතක කරන්න එපා. 

Monday, February 25, 2019

පදාර්ථ හා විකිරණ [ 1.තාප විකිරණය (ii)]


අපි කලින් ලිපියෙන් කතාකළා තාප විකිරණ හැඳින්වීම සහ ලෙස්ලි ඝනකය ගැන. කවුරුහරි ඒක කියෙව්වෙ නැත්තන් මෙතනින් ගිහිල්ල ඒක කියවන්න.

ඉතින් ඔන්න අද අපි කතාකරන්න යන්නෙ ක්‍ෘෂ්ණ වස්තු විකිරණය කියන දේ ගැන.

ක්‍ෘෂ්ණ වස්තු විකිරණය ( Blackbody Radiation )

මොකක්ද මේ ක්‍ෘෂ්ණ වස්තුවක් කියන්නෙ? පළවෙනි පාරට මේ පාඩම ඉගෙනගන්නවනම් ඔයාලට ක්‍ෘෂ්ණ වස්තුවක් ගැන කිසිම අදහසක් නැතුව ඇති. පොඩ්ඩක්වත් බය වෙන්න එපා. අපි ඔයාලට සියලුම සිද්ධාන්ත ගොඩක් පැහැදිළිව තේරුම් කරනවනෙ.
ක්‍ෘෂ්ණ වස්තුවක් කිව්වොත් සරලවම කළු පාට වස්තුවක්. අපි සාමාන්‍යයෙන් දන්නව මොකක් හරි වස්තුවක් අපිට කොළ පාටට පේනවනම් ඒ වස්තුව ද්‍ෘෂ්‍ය වර්ණාවලියෙ කොළ පාට හැර ඉතිරි සේරම පාටවල් අවශෝෂණය කරන්වනෙ. ඒකයි අපිට ඒක කොළ පාටට පේන්නෙ. එතකොට සුදු පාටට පේන්නෙ සියලුම අලෝක කිරණ පරාවර්තනය කරනවනම්. ඇයි ඉතින් සූර්‍යාලෝකයත් සුදුයි. ඒකෙත් තියෙන්නෙ වර්ණ 7ක සංයෝජනයක්නෙ. ඒ කිව්වෙ සුදු පාටෙ ද්‍ෘෂ්‍ය වර්ණාවලියම හැංගිලා තියනව.
එතකොට මොකක් හරි වස්තුවක් අපිට කළු පාටට පේන්නෙ කොහොමද? දැන් ඔයාලට තේරෙන්න ඕනෙ ඇයි කියල. කළු පාටට ඒක පේන්නෙ සේරම පාටවල් ටික අවශෝෂණය කරන නිසා. හැබැයි දැන් හිතන්න ඔයාලගෙ කොණ්ඩෙ කළු පාටයි. ඒත් ඒක සමහර වෙලාවට දිලිසෙනව. හොඳට පේනව. ඒ කියන්නෙ ඒක කළු උනාට ඇතැම් වර්ණ පරාවර්තනය කරනව. හිතන්න කළු පාට කාර් එකක්. ඒකත් අපිට පේනවනෙ. ඒකෙත් වෙන්නෙ සියලුම වර්ණ වගේ අවශෝෂණය කරල සුළු ප්‍රමාණයක් පරාවර්තනය කරනව. එතකොට ක්‍ෘෂ්ණ වස්තු කියන්නෙ කළු පාට වස්තු වලට නෙවෙයිද? කළු පාට වස්තු වලටත් ක්‍ෘෂ්ණ වස්තු කියනව. හැබැයි ඒ වස්තුව මත පතනය වෙන සියලුම තරංග ආයාම වලට අයත් කිරණ ( අපි දන්නෙ ද්‍ෘෂ්‍ය වර්ණාවලියෙ සේරම වර්ණ අවශෝෂණය කරනව කියලනෙ. අව්ලක් නෑ. හැබැයි මතක තියාගන්න පූර්ණ ක්‍ෘෂ්ණ වස්තුවක් නම් සියලුම තරංග ආයාම වලට අයත් විකිරණ අවශෝෂණය කරනව. එතකොට අපිට එදිනෙදා ජීවිතයෙදි පූර්ණ ක්‍ෘෂ්ණ වස්තු හම්බෙන්නෙ නැද්ද? ඇත්තටම කිව්වොත් නෑ. ඔයාල දන්නවද මැට් බ්ලැක් කියන පාට. අන්න ඒක ටිකක් විතර හොඳ ක්‍ෘෂ්ණ වස්තුවක්. හැබැයි ඒකත් සමහර ආලෝක කිරණ පරාවර්තනය කරනව. පූර්ණ ක්‍ෘෂ්ණ වස්තුවක අපිට හැඩතල මොකුත් පේන්නෙ නෑ. ඒ කිව්වෙ පූර්ණ ක්‍ෘෂ්ණ ද්‍රව්‍යයකින් පිළිමයක් හැදුව කියල හිතන්නකෝ. එතකොට අපිට ඒ පිළිමෙ හැඩතල කිසිම දෙයක් පේන්නෙ නෑ. බාහිර සීමාව විතරයි පේන්නෙ. පූර්ණ ක්‍ෘෂ්ණ වස්තුවකට ඉතින් ටෝච් එකක් ගැහුවත් පේන්නෙ නෑ.😂
එතකොට ලෝකෙ කොහෙවත්ම නැද්ද පූර්ණ ක්‍ෘෂ්ණ වස්තුවක්. තියනව. ඒ තමයි කලු කුහර කියන ජාතිය. කලු කුහර ගැන දැන් කියන්න ගියොත් අපිට පාඩම කරන්න වෙන්නෙ නෑ. අපි වෙනත් ලිපියකින් ඕනෙනම් කලු කුහර ගැන කතා කරමු. කලු කුහරනම් පූර්ණ ක්‍ෘෂ්ණයි. දැකල නැත්තන් බලාගන්න කලු කුහරයක් මේ වගේ.

ඉතින් පොදුවෙ කළු පාට වස්තු වලට අපිට කියන්න පුලුවන් ක්‍ෘෂ්ණ වස්තු කියල. හැබැයි පූර්ණ ක්‍ෘෂ්ණ නම් නෑ.
මං පොඩි ප්‍රැක්ටිකල් එකක් කියන්නම්, ඕනෙනම් කරල බලන්න.
දවල් හොඳට අව්ව තියන වෙලේක සුදු මේස් එකකුයි, කළු මේස් එකකුයි ගන්න. දැන් යන්න එළියට. ඔය මේස් දෙක අත් දෙකට දාල අත් දෙක අව්වට අල්ලන් ඉන්න. එතකොට ඔයාට තේරෙයි කළු පාට වස්තු වල කිරණ අවශෝෂණය කරන හැටි. ඒ කිව්වෙ කළු මේස් එක දාපු අත රත් වෙනව. සුදු මේස් එක දාපු අතට වඩා. ඔන්න එහෙනම් කරල බලන්නකො.
ඉතින් අපිට පූර්ණ ක්‍ෘෂ්ණ වස්තු නෑනෙ අතට අරන් බලන්න. ඒත් විද්‍යාගරෙ හදල තියනව පොඩි බඩුවක්. අන්න ඒක ක්‍ෘෂ්ණ වස්තුවක් විදිහට ගන්න පුලුවන්. හැබැයි ක්‍ෘෂ්ණ වස්තුව වෙන්නෙ ඒකෙ තියන සිදුරක් විතරයි.😀
මේ තියෙන්නෙ ඒ item එක.




ඔය උඩින් තියන රූපෙ තියෙන්නෙ ඇත්ත එකක්. පහළ රූපෙ සරලව පෙන්නල තියෙන්නෙ ඒක ඇතුළෙ වෙන දේ. පහළ රූපෙ සිදුරට විරුද්ධ පැත්තෙ ගැට්ටක් වගේ එකක් තියනවනෙ. ඒක තියෙන්නෙ ඇතුල් බිත්තියට ලම්භකව එන කිරණ සිදුරෙන් ආපහු එළියට යන එක වලක්වන්න. කිරණ එළියට ගියොත් සේරම කිරණ අවශෝෂණය කරා වෙන්නෙ නෑනෙ. 

ඉතින් අපි දැනට කතාකළේ ක්‍ෘෂ්ණ වස්තු විකිරණය ගැන. මේක මේ සම්බන්ධව ආරම්භය විතරයි. තව තියනව ස්ටෙෆාන් නියමය, තීව්‍රතා ව්‍යාප්තිය වගේ ගොඩක් දේවල් කතාකරන්න. ඉතින් ඒවත් එක්ක අපි ඊළඟ ලිපියෙන් හමුවෙමු. 

ඔයාලට මොනොවහරි ප්‍රශ්න තියනවනම් අනිවාර්‍යයෙන් පහළින් comment කරන්න. ඒ වගේම ඔයාලගෙ අදහසුත් පහළින් comment කරන්න. 
අපේ facebook page එකට like කරන්න. එතකොට අපි අලුත් ලිපියක් දාපු ගමන් ඔයාට දැනගන්න පුලුවන්. ඔයා facebook නැත්නම් අපේ blog එක subscribe කරන්න. subscribe button එක බ්ලොග් එකේ උඩ ඇති. 
එහෙනම් අපි ඊළඟ ලිපියෙන් ස්ටෙෆාන් නියමය ගැන කතා කරමු.

Saturday, February 23, 2019

පදාර්ථ හා විකිරණ [ 1.තාප විකිරණ (i) ]


අද අපි පටන් ගන්න යන්නෙ අපේ උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයෙ අන්තිම පාඩම. ඒක තමයි පදාර්ථ හා විකිරණ කියන පාඩම. මේ පාඩම ගොඩක් ලොකු පාඩමක් නෙවෙයි. කාලච්ඡේද 30 ක් වගේ තමයි මේකට වෙන් කරල තියෙන්නෙ. ඒ වගේම මේක නූතන භෞතික විද්‍යාවට අයත් වෙන පාඩමක්. සිංහලෙන් කිව්වොත් Modern physics කියන්නෙ😂. මේ පාඩම අමාරු පාඩමක් නෙවෙයි. නූතන භෞතික විද්‍යාව හින්ද A/L පේපරේ ලොකු ඉඩක් මේ පාඩමට දෙන්නෙ නෑ මෙච්චර කල්. හැබැයි එකපාරට ලොකු කොටසක් මේකෙන් අහන්නත් පුලුවන්. ඒ වගේම ඇහුවොත් ලේසියෙන්ම ගොඩදාගන්න පුලුවන් පාඩමක්...

හරි, අපි වැඩි කතා නැතුව පාඩමට යමු.
මේ පාඩම ප්‍රධානවම කොටස් 3 කට බෙදල ඉගෙන ගන්න පුලුවන්. එහෙම බෙදන්නෙ ඉතින් වෙන මොහොකටවත් නෙවෙයි,, ලේසියට. ඒව තමයි,

1. තාප විකිරණය
2. ප්‍රකාශ විද්‍යුත් ආචරණය
3. විකිරණශීලීතාව

ඉතින් අපි අද කතාකරන්න යන්නෙ, ඔය පළවෙනියට තියන කොටස. ඒ කිව්වෙ තාප විකිරණ ගැන. එහෙනම් අපි පටන් ගමු.

තාප විකිරණය (Themal Radiation)

මොකක්ද මේ විකිරණය කියන්නෙ. අපි තාපය පාඩමේදි ඉගෙන ගන්නව තාපය සංක්‍රමණය වෙන ක්‍රම ගැන. මොනවද ඒ, සන්නයනය, සංවහනය, විකිරණය. හැබැයි තාපය පාඩමේදි විකිරණය කියන ක්‍රමය ගැන ලොකු පැහැදිළි කිරීමක් කරන්නෙ නෑ. ඒ උනාට විකිරණය ගැන මෙතනදි අපි ටිකක් වැඩිපුර කතා කරනව.
විකිරණය කියන්නෙ මොකක්ද කියල කිව්වොත්, ශක්තිය එක තැනක ඉඳල තවත් තැනකට අංශුමය මාධ්‍යයක උදව්වක් නැතුව යනවනම් අන්න ඒ යන ක්‍රමයට අපි කියනව විකිරණය කියල.
එතකොට තාප විකිරණ කියන්නෙ තාප ශක්තිය ඔය විදිහට ඒ කිව්වෙ තාප විකිරණ විදිහට ගමන් කරන වෙලාවට.

මං පොඩි උදාහරණයක් කියන්නම්. අපිට දවල්ට ඉර පායල තියන වෙලාවට රස්නෙ දැනෙනවනෙ. ඒ වුනාට සූර්‍යාගෙ ඉඳල ප්‍ෘථිවියට එනකම් අතරමැද දිගටම වායුගෝලයක් නෑනෙ. මැද රික්තමය අවකාශත් තියනව. අන්න ඒත් අපිට රස්නෙ දැනෙනව. අන්න ඒ සූර්‍ය තාපය ප්‍ෘථිවිය දක්වා ආවෙ විකිරණය මඟින්. මේව මේ මං කියන ඒව නෙවෙයි. විද්‍යාඥයො තමයි මේව හොයාගෙන තියෙන්නෙ😄.
ඉතින් මේ තාප විකිරණ අයත් වෙන්නෙ විද්‍යුත් චුම්භක වර්ණාවලියට. මේ තියෙන්නෙ විද්‍යුත් චුම්භක වර්ණාවලිය දැකල නැත්තන් බලාගන්න ඕන්.


විද්‍යුත් චුම්භක වර්ණාවලියෙ ඇහැට පේන ටික ඒ කිව්වෙ ද්‍ෘශ්‍ය පරාසයේ තියෙන්නෙ තරංග ආයාමය 400nm ඉඳන් 750nm ට ආසන්න වෙනකන් වගේ. 400nm - 700nm කිව්වත් අව්ලක් නෑ. එතකොට මේ තාප විකිරණ තියෙන්නෙ මේකෙ කොතනද? තාප විකිරණ තියෙන්නෙ අධෝරක්ත පරාසයේ. උඩ රූපෙ IR කියල තියෙන්නෙ. හරියටම කිව්වොත් තාප විකිරණ වල තරංග ආයාම පරාසය තියෙන්නෙ 1mm වල ඉඳල 700nm වලට එනකන්. (සංඛ්‍යාතය වැඩි වෙනකොට තරංග ආයාම අඩු වෙනව කියල දන්නවනේ)
දැන් අපි දන්නවනෙ රත්වෙච්ච වස්තුවකින් තාප විකිරණ පිටකරනව කියල. ඒ තාප විකිරණ වල තරංග ආයාමය මං කලින් කිව්ව පරාසය තුළ වෙනස් වෙනව. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මොකක් මතද වෙනස් වෙන්නෙ කියල. ඒක වෙනස් වෙන්නෙ ඒ වස්තුව පවතින උෂ්ණත්වය මත. 

හැබැයි විශේෂ දෙයක් කියන්න තියනව මෙතනදි. තාප විකිරණ අපිට ඇහැට පේන්නෙ නෑනෙ. ඒත් වස්තුවේ උෂ්ණත්වය ගොඩක් වැඩි කරාම අපිට ඒක පේන්න ගන්නව. ඔය පිහි හදන තැන්වල එහෙම යකඩ තැඹිලි පාටට පේන්නෙ. (මේක ගැන පස්සෙ කතාකරනව) 
දැන් අපි පොඩ්ඩක් බලමු රත්වෙච්ච වස්තුවකින් තාප විකිරණ පිටවෙන සීග්‍රතාවය ගැන.

රත්වූ වස්තුවක් මඟින් තාප විකිරණ පිටකිරීමේ සීග්‍රතාවය

මේ සීග්‍රතාවය ගැන හොයන්න හදල තියනව පොඩි බඩුවක්. ඒකට කියනව අපි ලෙස්ලි ඝනකය කියල. මේ තියෙන්නෙ ලෙස්ලි ඝනකයක්.

මේකෙ වීඩියෝ එකක් තියනව පෙන්නන්න. ඊට කලින් අපි තාප විකිරණ පිටකිරීමේ සීග්‍රතාවය ගැන කතාකරල ඉමු. මේ සීග්‍රතාවය රඳා පවතින සාධක කිහිපයක් තියනව.

1.වස්තුව පවතින උෂ්ණත්වය
2.වස්තුවේ ප්‍ෘෂ්ඨික වර්ගඵලය
3.වස්තුවේ ප්‍ෘෂ්ඨීය ස්වභාවය

1.වස්තුව පවතින උෂ්ණත්වය
මේකෙදි අපි කරන්නෙ ලෙස්ලි ඝනකයට විවිධ උෂ්ණත්ව වල තියන වතුර දානව. දාල විකිරණ පිටවීමේ සීග්‍රතා මනිනව. මොකෙන්ද එතකොට මේක මයින්නෙ. ඒකට ගන්නෙ තාප විද්‍යුත් පුංජය කියල එකක්. මේක හදන්නෙ තාප විද්‍යුත් යුග්ම ශ්‍රේණිගතව සම්බන්ධ කරල. එහෙම හදල තියෙන්නෙ වැඩි විද්‍යුත් ගාමක බලයක් ලබාගන්න. ඇයි තාප විද්‍යුත් යුග්මයේ උෂ්ණත්වමිතික ගුණය විද්‍යුත් ගාමක බලයනෙ. මේ තියෙන්නෙ තාප විද්‍යුත් පුංජයක රේඛා සටහනක්.
එහෙම සීග්‍රතා මැන්නහම, වැඩි උෂ්ණත්වයේදි විකිරණ පිටවීමේ සීග්‍රතාව වැඩියි. ඒ වගේම අඩු උෂ්ණත්වයේදී විකිරණ පිටවීමේ සීග්‍රතාව අඩුයි.

2.වස්තුවේ ප්‍ෘෂ්ඨික වර්ගඵලය
මේකෙදි කරන්නෙ එකම ප්‍ෘෂ්ඨීය ස්වභාවය තියන වෙනස් වර්ගඵල තියන ලෙස්ලි ඝනක වලට එකම උෂ්ණත්වයේ තියන ජලය දාල බලනව. මොකක්ද බලන්නෙ. විකිරණ පිටවීමේ සීග්‍රතාව. කොහොමද බලන්නෙ. තාප විද්‍යුත් පුංජයෙන්.😀
එතකොට ඔන්න අපිට පේනව වර්ගඵලය වැඩි වෙන්න වෙන්න තාප විකිරණ පිටවෙන සීග්‍රතාවය වැඩි වෙනව කියල.

3.වස්තුවේ ප්‍ෘෂ්ඨීය ස්වභාවය
මේකෙදි ප්‍ෘෂ්ඨ ස්වභාවය වෙනස් කරල හදපු ලෙස්ලි ඝනකයක් ගන්න ඕනෙ. නැත්තන් අපි කරන්නෙ එක පැත්තක දැලි ගානව. තව පැත්තක් වැලි කඩදාසියකින් හූරනව. තව පැත්තක සුදු තීන්ත ගානව. ඒ උනාට ලැබ් එකේ ඔය විදිහට හදපු ලෙස්ලි ඝනක තියනව.😂
මේකෙදි කරන්නෙ අපි දානව ලෙස්ලි ඝනකයට නටන ජලය. ඊට පස්සෙ එකේක ප්‍ෘෂ්ඨ වලට සම දුරින් තාප විද්‍යුත් පුංජය තියල පිටවන විකිරණ සීග්‍රතා බලනව. ඔන්න එතකොට අපිට පේනව කළු පාට රළු ප්‍ෘෂ්ඨ වලින් හොඳට තාප විකිරණ විමෝචනය වෙනව කියල. ඒ වගේම සුදු තීන්ත ගාපු ප්‍ෘෂ්ඨ ඒ වගේම සුමට ප්‍ෘෂ්ඨ වලින් තාප විකිරණ පිටවීමෙ සීග්‍රතාවය අඩුයි කියලත් පේනව.

එහෙනම් මේ වීඩියෝ එක බලන්නකෝ.


ඔය වීඩියෝ එකේ අධෝරක්ත කැමරාවකින් තමයි වීඩියෝ කරල තියෙන්නෙ. හොඳට තාප විකිරණ පිටවෙන තැන් වල තැඹිලි , කහ පාටක් තියෙන්නෙ. තාප විකිරණ අඩුවෙන් පිටවෙන තැන් නිල් පාටයි.

එහෙනම් ඔයාල මතක තියාගන්න ඕනෙ මොකක්ද? කළු රළු ප්‍ෘෂ්ඨ හොඳ තාප අවශොෂක වගේම විමෝචකත් වෙනව කියල. 

අපි ඊළඟ ලිපියෙන් මේ පාඩමේ වැදගත් කොටසක් වෙන ක්‍ෘෂ්ණ වස්තු විකිරණය කියල දෙනව. 
ඒ වගේම මේ පාඩම ගැනත් ෆිසික්ස් ගැනත් මොනවහරි ප්‍රශ්න තියනවනම් පහළින් අනිවාර්‍යයෙන් comment කරන්න. ඒ වගේම ඔයාලගෙ යාලුවන්ටත් මේ පාඩම ගැන දැනගන්න මේක share කරන්නත් අමතක කරන්න එපා.

Friday, February 22, 2019

ඒකක හා මාන [2. මාන (i) ]


ඒකක සහ මාන පාඩමේ අපි කලින් සවිස්තරාත්මකව සාකච්ඡා කරා ඒකක සම්බන්ධව. කවුරුහරි ඒ ලිපිය කියෙව්වෙ නැත්තන් මෙතනින් ගිහිල්ල ඒක කියවන්න.

අපි අද කතාකරන්න යන්නෙ මේ ඒකක හා මාන පාඩමේ දෙවෙනි කොටස ගැන. ඒ තමයි මාන කියන කොටස.
ඔයාල මේ ගැන කලින් ඉගෙනගෙන නැත්තන් පොඩ්ඩක්වත් බයවෙන්න එපා. අපිත් එක්ක එකතුවෙලා ඔයාලට මේ කොටස හරියටම ඉගෙන ගන්න පුලුවන් වෙනව.

මුලින්ම බලන්න ඕනෙ, මොකක්ද මේ මාන කියන්නෙ කියල. ( O/L කාලෙදි මේ ගැන මොකුත්ම ඉගෙන ගන්නෙ නැති නිසා ඔයාලට මුලින්ම මේ මාන කියන්නෙ මොනවද කියල අදහසක් නැතුව ඇතිනේ.) මාන කියන්නෙ අපිම හදාගත්ත දෙයක් තමයි. මේ විදිහට මාන කියල දෙයක් හදාගත්තෙ මොකටද? ප්‍රධානම දේ තමයි, භෞතික රාශි සම්බන්ධ වැඩ වලදී ඒක පහසු කරගන්න තමයි මේ මාන කියල දෙයක් හඳුන්වල දීල තියෙන්නෙ. ඒ කිව්වෙ මේකෙදි භෞතික රාශි වලට ආවේණික වෙච්ච විවිධ සංකේත තියනව. ඒවට තමයි අපි මාන කියන්නෙ. භෞතික රාශි සංයෝජනය වෙන හැටි අපිට මේ සංකේත වලින් ඉදිරිපත් කරන්න පුලුවන්. ඒකක වගේම මානත් අපි මූලිකවම ප්‍රධාන කොටස් 2 කට බෙදනව.

1. මූලික මාන
2. ව්‍යුත්පන්න මාන

1.මූලික මාන

මූලික භෞතික රාශි 7 ක් තියනව කියල ඔයාල දැන් දන්නවනේ. එතකොට මේ මූලික භෞතික රාශි 7 ට මාන තියනව.

හැබැයි අපිට උසස් පෙළ මට්ටමේදි ඕනෙ වෙන්නෙ ඔය මුලින් තියන දිග, ස්කන්ධය, කාලය කියන රාශි තුනේ මාන විතරයි. ඒ කිව්වෙ ඒව විතරයි මතක තියාගන්න ඕනෙ. හැබැයි ඉතින් අනිත් මානත් ගනන් වල දෙන්න පුලුවන්, එහෙම දෙද්දි ඒ මාන දත්තයක් විදිහට දෙනව.(අපි ඉස්සරහට බලමුකො මේකෙ ගනන් ගැන.)

2.ව්‍යුත්පන්න මාන

මේ මාන ක්‍රමයෙදි ව්‍යුත්පන්න භෞතික රාශි වලට අලුතෙන් මාන හඳුන්වල දීල නෑ. ඒවයෙ මානත් කියන්නෙ මූලික මාන වල සංයෝජනයක් විදිහට. උදාහරණයක් විදිහට අපි වේගය කියන ව්‍යුත්පන්න භෞතික රාශිය ගමුකො. 

වේගය = දුර/කාලය 

මේකෙ දුර කියන්නෙ දිගක් නෙ. එතකොට ඒකෙ මාන L. කාලයේ මාන T. (මාන ලියද්දි කැපිටල් අකුරෙන් ලියන්න අමතක කරන්න එපා.) එතකොට,

[වේගය] = [දුර] / [කාලය]

ඔය කොටු වරහන දාන එකෙන් අදහස් වෙන්නෙ ඒ රාශියෙ මාන කියන එක. ඒ කිව්වෙ, උඩ තියන ප්‍රකාශනයෙන් කියවෙන්නෙ වේගයේ මාන දුරේ මාන කාලයේ මාන වලින් බෙදුවහම එන මාන සංයෝජනයට සමාන වෙනව කියන එක. තේරුනානෙ... එහෙනම්,

[වේගය] = L/T = LT¯¹
දැන් මේ ව්‍යුත්පන්න මාන කියන එක තේරුනානෙ. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඊළඟට කතාකරන්න තියෙන්නෙ මාන සම්බන්ධ නීති ගැන. ඊට කලින් පොඩ්ඩක් කියන්න ඕනෙ මාන සමීකරණ ගැන. අපි කලින් අර වේගයට ලිව්වෙත් මාන සමීකරණයක් තමයි. මාන සමීකරණයක් කියන්නෙ සමාන ලකුණ දාල ප්‍රකාශනයක දෙපැත්තෙ මාන සමාන කරන එක.

  • සමීකරණයක් හරි නම් ඒකෙ වම් පැත්තෙ මාන දකුණු පැත්තෙ මාන වලට සමාන වෙන්න ඕනෙ.
  • සමීකරණයක් නිවැරැදි නම් ඒකෙ වීජීය ඓක්‍යය ලබාගත්ත පද වල මාන සමාන වෙන්න ඕනෙ. ( මේක ඕන කෙනෙක්ට තේරෙනවනෙ ; ප්‍රවේගයකට බලයක් එකතු කරන්න බෑ වගේ )
අපිට ඊළඟට කතාකරන්න තියෙන්නෙ මාන සම්බන්ධයෙන් අනිවාර්‍යයෙන් දැනගන්න ඕනෙ කරුණු ඒ කිව්වෙ මාන සම්බන්ධ නීති තමයි. ඒවත් එක්ක අපි ඊළඟ ලිපියෙන් හමුවෙමු.
මතක ඇතුව ඔයාලගෙ අදහස් පහළින් comment කරන්න. ප්‍රශ්න තියනවනම් අනිවාර්‍යයෙන් ඒවත් අහන්න. ඔයාලගෙ යාලුවන්ටත් දැනගන්න share කරන්න.


Sunday, February 17, 2019

ධාරා විද්‍යුතය [1.මූලික සංකල්ප (iv)]


ඔන්න අද අපි කතා කරන්න යන්නෙ ධාරා විද්‍යුතයේ විද්‍යුත් ශක්තිය සහ විද්‍යුත් ක්ෂමතාව කියන කොටස. මේ ධාරා විද්‍යුතයේ මූලික සංකල්ප ගැන තියන 4 වෙනි ලිපිය. කලින් ලිපි 3 කියවල තමයි මේක කියවන්න ඕනෙ. කියෙව්වෙ නැත්තන් පහළ ලින්ක් වලින් ගිහිල්ල කියවල අවබෝධ කරගෙන එන්න.

ධාරා විද්‍යුතය මූලික සංකල්ප 1
ධාරා විද්‍යුතය මූලික සංකල්ප 2
ධාරා විද්‍යුතය මූලික සංකල්ප 3

විද්‍යුත් ශක්තිය (W)

අපි කලින් ලිපියෙන් විද්‍යුත් විභවය කියන එක පරිපථයකට හරියන විදිහට කිව්වනේ. මං ආයෙ කියන්නම්.. අපි ඒකෙදි කිව්වෙ, +1C ආරෝපණයක් විද්‍යුත් පරිපථයක යම් ලක්ෂ්‍යයක ඉන්න කොට ඒ ආරෝපණය සතු විද්‍යුත් ශක්තිය ඒ ලක්ෂ්‍යයේ විභවය කියල අපි කිව්ව. දැන් අපිට ඕනෙ මේ විද්‍යුත් ශක්තිය කියන එකට සම්බන්ධයක් ලබාගන්න. අපි දැ බලමු කොහොමද ඒක කරන්නෙ කියල.
මේකෙදි අපි ගණනය පිහිටුම් දෙකකදි ශක්ති වෙනසක්. මොකද ආරෝපණ ඒ කාලය තුළදි ගලාගෙන යනව. එතකොට ඒ ආරෝපණ ගමන් කරන දුර තමයි පිහිටුම් දෙක අතර දුර. මේක නිකන් දැනගන්න කිව්වෙ. මේ ගැන වැඩිය හිතන්න අමාරුයි උසස් පෙළ මට්ටමෙන්. මං තව පොඩි දෙයක් කියන්නම් ඔයාලගෙ දැනුමට.
වැඩි විභවයක ඉඳල අඩු විභවයකට ධාරාව ගමන් කරනවනම් වාහක ශක්තිය නිදහස් කරනව. ඇයි ඒක එහෙම වෙන්නෙ. විභවය කියන්නෙ එතන තියන ආරෝපනයක් සතු ශක්තියනෙ. එතකොට වැඩි විභවයක ඉඳන් අඩු විභවයට එන කොට වාහක වල ශක්තිය අඩු වෙන්න එපැයි. අන්න ඒ අඩුවෙන ටික නිදහස් කරනව කියල අපි කියනව. එතකොට අඩු විභවයේ සිට වැඩි විභවයට යනකොට වෙන්නෙ වාහක වලට ශක්තිය ලැබෙන එක. ඒකත් ඔය කලින් කියපු විදිහමයි. පොඩ්ඩක් හිතල බලන්න බැට්‍රියක් චාර්ජ් වෙද්දි වෙන්නෙ මේක ද කියල.
ඉතින් අපි ඊළඟට බලමු විද්‍යුත් ක්ෂමතාවය ගැන.

විද්‍යුත් ක්ෂමතාවය

මේ ගැන ඉතින් කියන එච්චර දෙයක් නෑනෙ. ක්ෂමතාවය කියන්නෙ ශක්තිය ලබාගැනීමේ හෝ පිටකිරීමේ සීග්‍රතාවය. මං මෙතනදි ලබගැනීමකුයි පිටකිරීමකුයි ගැන කිව්වෙ, විභව අන්තරයක් හරහා ධාරාවක් යන කොට ඔය දෙකම වෙන්න පුලුවන් නිසා. ඇයි වැඩි විභවයේ ඉඳන් අඩු විභවයට යන කොට වාහක ශක්තිය නිදහස් කරනව, අඩු විභවයේ ඉඳන් වැඩි විභවයකට යන කොට වාහක ශක්තිය ලබාගන්නව. ඉතින් අපි දැන් මේකටත් ගණිතමය සම්බන්ධයක් ගන්න තමයි යන්නෙ.
V විභව අන්තරයක් හරහා I ධාරාවක් යනකොට අපිට මේ සම්බන්ධය යොදන්න පුලුවන්.

ඔන්න දැන් අපි ධාරා විද්‍යුතයෙදි ඔයාල දැනගන්න ඕන මූලික පද, සමීකරණ වගේ දේවල් ටිකක් කතා කලා. ඊළඟට අපිට කතාකරන්න තියෙන්නෙ සන්නායක ගැන. අපි එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු. මේ සම්බන්ධයෙන් ඔයාලගෙ අදහස් පහළින් comment කරන්න අමතක කරන්න එපා.

Thursday, February 7, 2019

ධාරා විද්‍යුතය [ගැටළු (1)]


ඔන්න අපි දැන් යන්නෙ Physics ඉගෙන ගද්දි කරන්න ඕන වැදගත්ම දේ වෙන ගැටළු විසඳන එක. ධාරා විද්‍යුතයේ මූලික සංකල්ප සම්බන්ධව ආපු ගැටළු කිහිපයක් තමයි මම අද පසුගිය විභාග බහුවරණ වලින් තෝරගත්තෙ. අපි එහෙනම් වැඩේ පටන් ගමු.
ඊට කලින් කියන්න තියන දේ තමයි මේ A/L කියන්නෙ ඔයාලගෙ ජීවිතේ වැදගත්ම කඩයිමක්. ඉතින් ඒක ජය ගන්න එක ඔයාලගෙ වගකීමක්. ඉතින් අපි මෙතනදි සාකච්ඡා කරන ප්‍රශ්න වලින් දැනුම අරගෙන ඔයාල මේ සම්බන්ධව ඇවිල්ල තියන සියලුම පසුගිය විභාග ප්‍රශ්න කරන්න ඕනෙ. එහෙම කරල බැරි දෙයක් තිබුනොත් අනිවාර්යයෙන්ම comment කරන්න ඕනෙ. එහෙම කරල මේ විෂය ඔයාලට පහසුම විෂය බවට පත්කරගන්න. ඒකට් උදව්කරන්න ඕනම වෙලාවක අපි ඉන්නවා.
අපි බලමු දැන් ප්‍රශ්න ටික.

01)
බලන්න. මේ ප්‍රශ්නෙ අහල තියෙන්නෙ ප්‍රායෝගික දෙයක්. 
1. අධික ප්‍රතිරෝධයක් තිබ්බොත් භූගත වෙන තුඩට භූගත වීම හරියට සිද්ධ වෙන්නෙ නෑ නෙ. 
2. භූගත වෙන තුඩේ තාප ධාරිතාවය සම්බන්ධයක් නෑ මේ භූගත වීමේ ක්‍රියාවලියට.
3.තුන් වෙනි කතාවෙ වෙන දේ ඇත්ත උනත් ඒක විද්‍යාත්මක දෙයක් නෙවෙයිනේ. ඒ නිසා ඒ උත්තරේ පිළිගන්න බෑ.
4.භූගත කිරීම පළමුව සිදුකළාට වැඩක් නෑ පරිපථය සම්පූර්ණ වෙන්නෙ නැතුව. ඒක නිසා නෙවෙයි භූගත වෙන තුඩ මහතට හදල තියෙන්නෙ.
5.මෙන්න මේ 5 උත්තරේ ප්‍රතිරෝධය අඩුවෙන්න කියල උත්තරේ තියනව. ඇත්තටම භූගත වෙන සන්නායක කොටස ගොඩක් අඩු ප්‍රතිරෝධයක් තියන විදිහට තමයි හදන්න ඕනෙ. විදුලි උපකරණයක් නම් භූගත කරන්නෙ ඒක පාවිච්චි කරන කෙනාගෙ ආරක්ෂාවටනෙ. එතකොට ක්ෂණිකව මේකෙ ආරෝපණ ගලාගෙන යනවා පොළොවට. එහෙම පොළොවට බාධාවකින් තොරව යන්නනම් අඩු ප්‍රතිරෝධයක් තියන සන්නායක කොටසක් භාවිතා කරන්න ඕනෙ. 
එහෙනම් උත්තරේ 5 කියල ඔයාලට පැහැදිළියි.
මේ ප්‍රශ්නෙ දීල තියන උත්තර විද්‍යාත්මකව නම් පහළ මට්ටමේ ඒව. ඒත් උත්තරේ හොයාගන්න ඒක ගැටළුවක් වෙන්නෙ නෑ. 
එහෙනම් දැන් අපි බලමු ඊළඟ ප්‍රශ්නෙ.

02)

 ඔය හදල තියන විදිහ තමයි ගාන හදන ක්‍රමානුකූල පියවර. හැබැයි ඔහොම හදල පෙන්නුවෙ සිද්ධාන්ත පැහැදිළිව අවබෝධ කරගන්න වගේම ගැටළු ආකාරයක් පෙන්න්ල දෙන්න. විභාගෙට ඔහොම MCQ හැදුවොත් ප්‍රශ්න 10 කට වඩානම් කරන්න් හම්බෙන්නෙ නෑ.😂😂😂
ඒ නිසා විභාගෙදි ගොඩක් ඉක්මන් වෙන්න ඕනෙ. ඒ වගේම ගොඩක් කෙටි ක්‍රම භාවිතා කරන්න ඕනෙ. 
අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නය බලමු

3)

ඔය තියෙනෙ ගාන හදන සාමාන්‍ය ක්‍රමය. විභාගෙදි MCQ කරන විදිහ නෙවෙයි.
කලින් ගානෙයි මේ ගානෙයි දෙකේම සන්නායක ලෝහය වෙනස් වෙන්නෙ නැති නිසා ප්‍රතිරෝධකතාව වෙනස් වෙන්නෙ නෑ.
අපි බලමු එහෙනම් ඊළඟ ප්‍රශ්නය.

4)
මේකටනම් උත්තරේ හරි ලේසියි. විද්‍යාගාරයේදි safty first නේ. ඒ නිසා කම්බි අනිවාර්‍යයෙන් පරිවරණය කරල තියෙන්නෙ ඕනෙ. ඒක නිසා අපිට අන්තිම උත්තර 3 ම අයින් කරන්න පුලුවන්. 1 , 2 උත්තර ගත්තහම ප්‍රතිරෝධය අඩුවෙන එක තමයි අපිට වාසි දායක. (ප්‍රතිරෝධය වැඩිවෙන එක අපිට වාසියක් වෙන්නෙ තාපයක් නිපදවෙන උපකරණ වල තමයි )
අනිත් හැමවෙලේම ප්‍රතිරෝධය අඩු වෙන එක තමයි වෙන්න ඕනෙ. ඉතින් ඔයාල දන්නව, අපි සාකච්ඡා කරා මේ ගැන. ප්‍රතිරෝධය අඩු වෙන්නනම්, කෙටි හා මහත වෙන්න ඕනෙ. ඒ නිසා උත්තරේ 2 කියල ගන්න පුලුවන්. අපි යමු එහෙනම් ඊලඟ ප්‍රශ්නෙට.

5)

මේකත් කලින් ගනන් වගේමයි. දැන් ඔයාලට තේරෙනව නේද පසුගිය විභාග ප්‍රශ්න කරන එකේ වැදගත්කම. ඒවම තමයි පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කර කර අහන්නෙ. 

6)

මේක හදන්න ඔය තියන ක්‍රම දෙකම හොඳයි. පලවෙනි ක්‍රමය සාම්ප්‍රදායික ක්‍රමය. දෙවෙනි එක පොඩ්ඩක් හිතන්න තියන කෙටි ක්‍රමයක්. පරිමාව නියත නිසා පරිමාව කැපෙන විදිහට හරයයි ලවයයි දෙකම l ගෙන් වැඩි කරල තියනව. ගොඩක් ප්‍රශ්න හදල පුරුදු වෙද්දි ඔය ක්‍රම ඇඟට වදිනව. ඒක නිසා ප්‍රශ්නයක් නෑ.

හරි ඔන්න අපි අද් ගොඩක් වැදගත් තීරණාත්මක දෙයක් තමයි පටන් ගත්තෙ. අපිත් එක්ක දිගටම එකතු වෙල ඔයාලගෙ භෞතික විද්‍යා දැනුම වැඩි දියුණු කරගන්න පුලුවන්. ඒ වගේම උනන්දුවෙන් වැඩ කරන්න. 
අපි අද සාකච්ඡා කලේ සන්නායක වල ප්‍රතිරෝධය ඒවයෙ භෞතික සාධක අනුව වෙනස්වන විදිහ ගැන තියන ප්‍රශ්න. ඔයාලට තවත් මොනොවහරි ගැටළුවක් තියනවනම් පහළින් comment කරන්න. 
මේ ගැන අනිත් යාලුවන්ටත් දැනගන්න share කරන්න. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්න සාකච්ඡාවෙන් හමුවෙමු.

ස්ථිති විද්‍යුතය [1.ලක්ෂීය ආරෝපණ (i)]

ඔන්න, අපි අද පටන් ගන්න යන්නෙ තවත් අලුත් පාඩමක්. ඒ තමයි ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර කියන පාඩම. මේක අපි මූලික වශයෙන් ප්‍රධාන කොටස් 3 ක් යටතේ අධ්‍යයනය කරනව. ඒ තමයි,

1. ලක්ෂ්‍යාකාර ආරෝපණ සම්බන්ධ කරුණු
2. ආරෝපණ ව්‍යාප්ත වීම්
3. ධාරිත්‍රක

මේකෙ පළවෙනි කොටස, ඒ කියන්නෙ ලක්ෂ්‍යාකාර ආරෝපණ ගැන ඉගෙනගනිද්දි අපි සාකච්ඡා කරන දේවල් ටිකක් තියනවා. ඒ තමයි ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය , ආරෝපණ සම්බන්ධ කූලෝම්ගේ නියමය , විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය , ස්ථිති විද්‍යුත් විභවය කියන ටික.
මේ පාඩම ගැන කිව්වොත් අමාරු පාඩමක් නෙවෙයි. ඒත් මේක හරියට නිවැරැදිව අවබෝධ කරගත්තෙ නැත්තන් ටිකක් අමාරුයි. ඒත් දිගටම අපිත් එක්ක හිටියොත් නම් ඔයාලට මේ පාඩම අමාරු වෙන්නෙ නෑ. ඒ නිසා මම ආරාධනා කරනව ඔයාලට දිගටම අපිත් එක්ක ඉඳල Physics කියන විෂය ඔයාගෙ කැමතිම විෂය බවට පත්කරගන්න කියල. ඉතින් වැඩි කතා නැතුව අපි යමු පාඩමට...

මේ ස්ථිති විද්‍යුතයෙදි අපි මොනව ගැනද සාකච්ඡා කරන්නෙ.? මේ පාඩම පුරාවටම අපි කතාකරන්නෙ චලනය නොවන එහෙමත් නැත්තන් ස්ථිතික ආරෝපණ ගැන. ඒකනෙ මේකට ස්ථිති විද්‍යුතය කියන්නෙ😀
අපි මේ පාඩම් සාකච්ඡා කරද්දි අවශ්‍ය කරන හැම දෙයක්ම කියනවා. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ. මුලින්ම බලන්න ඕනෙ මොකක්ද මේ ආරෝපණයක් කියන්නෙ කියල. ඇත්තටම කිව්වොත් ඉතින් අරෝපණය තවත් විස්තර කරන්න බෑ. ඉතින් ආරෝපණයක් ගැන දැනගන්න ඕන මූලික කරුණු දැනටමත් ඔයාල දන්නව. මුලින්ම කියන්න ඕනෙ මේ ආරෝපණ කියන ජාතිය + හා - කියල වර්ග දෙකක් තියනවා. ඒක ඕනම කෙනෙක් දන්නවනේ. ඉතින් ඔය ආරෝපණය කියන එක ඉස්සර කාලෙ වර්ග කරා විවිධ විදිහට(ඒ කාලෙ සිද්ධාන්තමය විදිහට මේ ස්ථිති විද්‍යුතය කියන සංකල්පය දැනගෙන හිටියෙ නෑ).. ඒ කිව්වෙ වීදුරු හා සිල්ක් පිරිමැද්දොත් වීදුරු වලට ලැබෙන්නෙ + ආරෝපණයක් , ඒ වගේම එබනයිට් හා ලොම පිරිමැද්දම එබනයිට් - ආරෝපිත වෙනව කියල වර්ග කරේ. මෙහෙම වර්ග කරේ සම්පූර්ණයෙන්ම මේ ගැන දැනගෙන නෙවෙයි. කොහොමහරි කමක් නෑ. අපිට ඉතිහාසය නම් එච්චර වැදගත් නෑනෙ, පිසික්ස් ඉගෙන ගද්දි.
අපි දැන් බලමු මේ ස්ථිති විද්‍යුතයේ මූලික නියමය කියන්නෙ මොකක්ද කියල. මේකත් කිව්වහම හිනහ යයි. මොකද මේකත් හැමෝම දන්න දෙයක්. මොකක්ද ඒ, සජාතීය ආරෝපණ විකර්ශණය වෙනව, විජාතීය ආරෝපණ ආකර්ශණය වෙනව කියන එක.😂 මේකත් නියමයක්ද නේ?😂
අපි දැන් බලමු අපිට ගනන් හදද්දි වැදගත් වෙන මූලික දෙයක්. මේකත් ඔයාල දන්නව. ඒ තමයි මේ ආරෝපණය උපගුණාකාර ඇසුරින් ලියන්න පුළුවන් එක. ආරෝපණය මනින SI ඒකක තමයි කූලෝමය කියන්නෙ. එතකොට අපිට මේක මිලිකූලෝම්, මයික්‍රොකූලෝම්, නැනෝකූලෝම් වගේ විදිහට උපගුණාකාර දාල ලියන්න පුලුවන්. මං මේ නිකන් කියන්න ඕනෙ නිසා ඒකක ටික සිංහල අකුරෙන් කිව්වෙ, සිංහලෙන් එහෙම ලියන්න එපා, ඒකක හොඳේ😀 (ඔයාලට උපගුණාකාර මතක නැත්තන් අපි ඒකක සම්බන්ධව සාකච්ඡාව මෙතනින් ගිහින් බලන්න.)

ඊළඟට අපිට කතාකරන්න තියෙන්නෙ මේ සන්නායක හා පරිවාරක ගැන. මේ ගැන ධාරා විද්‍යුතයෙදිත් සාකච්ඡා කරනව.

සන්නායක හා පරිවාරක
ඕනම මාධ්‍යයක ඉලෙක්ට්‍රෝන තියනවනේ. ඒත් සන්නායක වල විශේෂත්වෙ තමයි සන්නායක ඉලෙක්ට්‍රෝන තියන එක. සන්නායක ඉලෙක්ට්‍රෝන කිව්වෙ නිදහසේ තියන ඒ කිව්වෙ බන්ධන වලට සහභාගී වෙලා නැති මාධ්‍යය තුළ නිදහසේ තියන ඉලෙක්ට්‍රෝන. එතකොට ඉතින් පරිවාරක කියන්නෙ සන්නායක ඉලෙක්ට්‍රෝන නැති මාධ්‍යය වලටනෙ.

අපිට ඊළඟට කතාකරන්න තියෙන්නෙ අරෝපණය කිරීම සම්බන්ධව. වස්තුවක් ආරෝපණය කරන්න ප්‍රධාන වශයෙන් ක්‍රම 2 ක් තියනව. ( 2 ක් නෙවෙයි , කතාකරන්නෙ 2 ක් ගැන විතරයි.)

  1. ස්පර්ශයෙන් ආරෝපණය කිරීම
  2. ප්‍රේරණයෙන් ආරෝපණය කිරීම
ස්පර්ශයෙන් ආරෝපණය කිරීම ගැන MCQ එහෙමත් ඇවිල්ල තියනව. අපි ඒව ප්‍රශ්න සාකච්ඡා කරද්දි කතාකරමුකෝ.

ස්පර්ශයෙන් ආරෝපණය කරනව කියන එක ගැන අදහසක් ගන්න පුලුවන් පහල රූපෙන්.
ඒකෙ a රූපයෙදි ආරෝපිත දණ්ඩක් ගෙනල්ල අනාරෝපිත වස්තුවක ස්පර්ශ කරාම ඒ වස්තුව ආරෝපණය වෙලා තියන හැටි තමයි b රූපෙ තියෙන්නෙ. දැනට ඔය ටික දැනගත්තහම ඇති. පස්සෙ අපි ප්‍රශ්න කරද්දි තව ගොඩක් දැනුම හම්බෙනව.
ඊලඟ ක්‍රමය තමයි මේ ප්‍රේරණයෙන් ආරෝපණය කරනව කියන එක. පහළ රූපෙ බලන්නකෝ.
මේකෙදි වෙන්නෙ අනාරෝපිත වස්තුවක් ගාවට ආරෝපිත වස්තුවක් ගෙනාවහම ඒ අනාරෝපිත වස්තුවෙ තිබුණ + හා - ආරෝප්ණ වස්තුව දෙපැත්තට වෙලා දෙපැත්තෙ ධ්‍රැව 2 ක් හැදෙනව. දැන් අපි ආරෝපිත දණ්ඩ අයින් කලොත් අපහු තිබ්බ විදිහට ආරෝපණ විසිරිලා උදාසීන වෙනව. එතකොට කොහොමද ආරෝපණය කරගන්නෙ. ඒකට කරන්න තියෙන්නෙ අර ධ්‍රැව 2 හැදුනහම ආරෝපිත දණ්ඩ අයින් කරන්නෙ නැතුව ( අයින් කරොත් වැඩේ දෙල් වෙනව, ඇයි ධ්‍රැව 2 නැතිවෙලා ආයෙ උදාසීන වස්තුව බවට පත් වෙනවනේ) එක පැත්තක් භූගත කරන්න ඕනෙ. එතකොට ඒ පැත්තෙ විභවය 0 වෙලා ආරෝපණ ටික උදාසීන වෙලා යනව. විභවය 0 වෙන කතාව දැන් තේරුන්නැත්තන් කලබල වෙන්න එපා. ඉස්සරහදි අපි විභවය ගැන කතා කරද්දි ඔය ගැන කියල දෙනව. මං නිකන් පොඩ්ඩක් කියන්නම්. භූගත කරනව කියන එකෙන් අපි සෛද්ධාන්තිකව කියන්නෙ ඒ අපි භූගත කරපු ලක්ෂ්‍යයේ විභවය 0 වෙනව කියන එක. දැනට ඔන්න ඔහොම පොඩ්ඩක් තේරුම් ගන්න. පස්සෙ අපි ගොඩක් ගැඹුරට විභවය ගැන කතා කරනව.

දැන් අපි බලමු මේ ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය කියන එක ගැන. මේකෙන් අපිට පුළුවන් මොකක් හරි වස්තුවක තියන ආරෝපණය මොකක්ද ඒක ධන ද ඍණද වගේ දේවල් දැනගන්න.මේ තියෙන්නෙ ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකයක ඇත්ත පින්තූරයක්.
ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය ගැන මේ කරුණු ටික ඔයාල දැනගෙන ඉන්න ඕනෙ. බලන්නකො පොඩ්ඩක්.,

  • උදාසීන ස්වර්ණ පත්‍ර දර්ශකයකට යම් වස්තුවක් ගෙන ආ විට උත්ක්‍රමණයක් ඇති වේ නම් එම වස්තුව ආරෝපිත බව පමණක් හඳුනාගන්න පුලුවන්. ආරෝපණ වර්ගය හඳුනාගන්න බෑ.
  • ආරෝපණ වර්ගය අඳුරගන්න නම් ආරෝපිත ස්වර්ණ පත්‍ර දර්ශකයක් භාවිතා කරන්න ඕනෙ. එතකොට දන්නා ආරෝපණයක් තියන ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකයකට ආරෝපිත වස්තුවක් ගෙනාවම උත්ක්‍රමණය වැඩි වෙනවනම් ගෙනාපු ආරෝපණයයි, ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකයෙයි තිබුණ ආරෝපණ සමානයි.
  • ඒ වගේම ආරෝපිත ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකයකට වස්තුවක් ගෙනාවම උත්ක්‍රමණය අඩු වෙනවනම් ඒ ගෙනාපු වස්තුවේ තියෙන්නෙ ස්වර්ණ පත්‍ර දර්ශකයේ ආරෝපණයට ප්‍රතිවිරුද්ධ ආරෝපණය.
ඔන්න ඔය කරුණු ටික ඔයාල දැනගන්න ඕනෙ ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය සම්බන්ධයෙන්. මේකෙනුත් MCQ ඇවිල්ල තියනව පසුගිය විභාග ප්‍රශ්න පත්තර වල.

හරි, අපි දැන් ලක්ෂ්‍යාකාර ආරෝපණ සම්බන්ධයෙන් ඉගෙන ගන්න කලින් දැනගන්න ඕනෙ මූලික කරුණු ටික සේරම සාකච්ඡා කරා. අපි මේ ගැන වැඩිදුර තොරතුරුත් එක්ක ඊළඟ ලිපියෙන් හමුවෙමු.... ඉතින් අනිවාර්යයෙන් ඔයාලගෙ අදහස් පහළින් comment කරන්න. ඒ වගේම මේ ලිපිය share කරන්නත් අමතක කරන්න එපා.

පදාර්ථ හා විකිරණ [2.ප්‍රකාශ විද්‍යුත් ආචරණය (i) ]

ඔන්න අද අපි කතා කරන්න යන්නේ පදාර්ථ හා විකිරණ පාඩමේ දෙවැනි කොටස. අපි මේ පාඩමේ පලවෙනි කොටස වෙච්ච තාප විකිරණය ගැන කලින් ලිපිවලින් සාකච්ඡා...